අති දීර්ඝ සසර ගමනක පැමිණි සියලු දෙනා හට ලබන්නාවූ වාසනාවන්ත ජීවන ගමනක් ලෙස මේ දිවිය ලැබුනේ නම් කොතරම් අඟනේද? එය වාසනාවන්ත වන්නේ ජීවින ගමනට කලාතුරකින් ලොව පහල වන අති උත්තම බුදුරජුන්ගේ දහමක් ලැබීමෙනුයි.ඒ දහම කෙනෙකුගේ ජීවිතය ට ලැබුණු විට එතරම් සුන්දර දෙයක් ලෝකයේ කිසිම අයුරකින් නැත්තේමය. එලෙසට ලැබුණු සුන්දර දහමෙහි වටිනාකම වන්නේම ඒ දහම තුලටම යොමු වීම පමණි. මුළු ජීවිතයම එයට කැප කිරීම පමණි.

ආ සසරේ දුක ගැන නොපසුතැවී යා යුතු ගමනක් ගැන අපේක්ෂාවෙන් තොර වී මේ දහම තුළම සතුටින් ජීවිතය ගත කළ යුතුයි. එළෙසට දහම තුළම ජීවිතය ගත කරන විට ආ ගමනවත් යා යුතු ගමනවත් ගැන පසුතැවීමක් අපේක්ෂාවක් ඇති නොවේ. මේ දහමේ සුන්දර බව තුළම කිමිදී, එයම පහස ලබනු ඇත. එය එතරම්ම සුන්දර වේ. එම දහම යනු ඉතා ගැඹුරු දෙයකි. අතිශයින්ම ගැඹුරු දෙයකි. වචන වලට පෙරළිය නොහැකි තරම්ම ගැඹුරුය. සිතමින් මානසික වින්දනයක් ලැබිය හැකි දහමක් ද නොවේ. එය සුන්දරයි. ප්‍රණීත යි. එපමණයි.

තම තමන්ට ගොඩනැගෙන මානසික විතර්ක නොවේ. තම තමන්ව සතුටු කරවන්නක්  හෝ නොවේ. එයින් බරක් නැත. මන්ද යත් ලැබුණු දෙයක් නැති බැවිනි. දුකක් පීඩාවක් නැත. නැති වූ නොලැබූ නොලබන බවක් නැත. යමක් ලැබුණු විට එය බරකි. යමක් නැතිවන විට හෝ නොලබෙන විට හෝ එය දුකකි. කිසිවක් නැති නම් කෙසේනම් සතූටු වන්න ද? කිසිවක් නැත්තේද නොවේ. ලැබුණු දෙයක් ද නැති නම් නැති වූ දෙයක් ද නැති නම් කිසිවක් නැත්තේද නැති නම් එය කුමක්  විය හැකිද? එයයි නිවීමයි. එය කෙසේ විස්තර කරන්න ද?

යම් විස්තරයක් කරන්නේ නම් ඒ ලැබූ දෙයක් ගැනය. එසේත් නැතිනම් නැති වූ විටයි. එසේත් නැතිනම් කිසිවක් ම නැති විටයි. මේ සියල්ලම ඉක්මවන මඟක් බුදුපියාණන් වදාළහ. එම නිසාමයි සතුටක් ඇති වන්නේ. යමක් ඇති විට, යමක් ලැබුණු විට ඒ ලැබූව අනුව සිතීමට සිදුවේ. යමක් නැති වූ විට ඒ අනුව සිතීමට සිදුවේ. කිසිවක් නැතිබව ලැබීම ද මහ මුලාවකි.  මේ දෘෂ්ඨි සියල්ලම ඉක්මවා සැහැල්ලු ජීවිතයක් ඇති වේ.

ජීවිතය නැති වීමෙන් මරණයට පත් වීමෙන් කුමක් නැති වන්නද? ලැබූ දෙයකුයි නැති විය යුත්තෙ. ජීවිතය පැවැත්වීමෙන් කුමකින් සතුටු වන්නද? ලැබුණු විට යි සතූටු  වන්නෙ. කිසිවක් නැති බවට ලැබීමෙන්ද අධික මුළාවක් ඇති වේ. තථාගතයන් වහන්සේ පෙන්වූ දහම යනු යමක් ලබා ගැනීමට නොවේ. යමක් ඉවත් කිරීමට ද නොවේ. කිසිවක් නැති බවත් ද නොවේ. එයයි සත්‍යය.

ලැබෙනවා හෝ නැති වෙනවා හෝ කිසිවක් නැති බව හෝ යනු යම් කිසි ගොරෝසු භෞතික දෙයක් නො වේ. මන්ද යත් ගොරෝසු  දේවල් කොහොමත් ඒකාකාරීව පවතින්නේද නැත.  තමන් ගේ කල්පනාව සමගයි  සියල්ල සිදුවන්නේ. ඒ දහම නිවැරදිව වටහා ගත් විට ලෝක පැවැත්ම පිළිබඳවත්, එතෙර වීමට දුන් දහම පිළිබඳවත් මානසිකව තලුමරමින් කල්පනා කරන්නට දෙයක් නැත. එනම්  එතෙර වීමට දහම යැයි ගැනෙන ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාදය ආදීයය, දහම ඉගෙන ගත් කෙනෙකුට ලැබුණ ද, දහම වටහාගත් අයෙකුට එලෙසට යමක් ලැබෙන්නේ නැත. එමෙන්ම එවැන්නක් නැති වන්නේද නැත. මේ සියල්ලම ප්‍රඥාවෙන් දකින කෝණයයි. මානසික විතර්කයක් නොවේ. මානසික ආරම්මණයක් ද නොවේ. ගෝචර වන ව්‍යවහාරයක්ද නොවේ. සිදුවන නම් කිරීමක් නොවේ. හුදෙක් ම ලැබීමේම ‘මම’ නොලැබේ. ලැබීම හෝ මම ඇති විට නැතිවීම හෝ නැති බවෙහි ‘මම’ ම ඇත. ලැබීමම ‘මම’ නොලැබෙන විට කථාව ඉවරයි. එච්චරයි.

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි