නමෝ බුද්ධාය ! 

අති ගාම්භීර තථාගත ධර්මය ට යොමුවීම සඳහා අධ්‍යාත්මික හැකියාව අවශ්‍ය වේ. එනම් ඉතා හොඳ සිහිය, කලබලය සම්පූර්ණයෙන්ම නැති බව, යමක් සොයන්නේ නැතිව සෙවීම යමක් වීම (අධ්‍යාත්මයේ ධර්මය ගැනීමේ හැකියාව)  අවශ්‍ය වේ. එවිට එම ගම්භීර දහමට යොමු විය හැක. 

දහමට යොමු වූ විට ගෙවා දැමූ දුක මහා පෘථිවිය හා මෙන් ද ගෙවීමට ඉතිරිය පුංචි වැලිකැට හතක් මෙන් බව ද බුදුරදුන් පෙන්වූහ. පෘථග්ජන සිට සෝතාපන්න වන විට කොපමණ වෙනසක් සිදුවී ඇතිද ? එනමුදු බාහිරින් නොව, දැකීමේ කෝණය පමණි. දැකීමේ කෝණය හාත්පසින්ම වෙනස් විය. 

එම නිසාමයි දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වන බව පෙන්වා දෙන්නේ. සම්පූර්ණයෙන්ම කෝණය වෙනස් වූවා. පුහුදුන් කෙනාගේ කෝණයට සම්පූර්ණයෙන් වෙනස් කෝණයක් ඇති වූවා. නමුත් ජීවත්වීමේ වෙනසක් නැත. මෙලෙසට කෝණය වෙනස් වීම සදහා ඉහත පෙන්වූ හැකියාවන් අවශ්‍ය වේ. එනම් සිහිය හා කලබල නැති බවද විශේෂයෙන් ම “යමක් සොයන්නේ නැතිව සෙවීම යමක් වීම “යි. 

එලෙසට “සෙවීම” යමක් වූ විට “සොයන යමක්” හෝ “ලබන යමක්” හමු වන්නේ නැත. ඉතිරි වන්නේම “සෙවීම” නම් යමක් පමණි. සෙවීම පමණක් “යමක්” වූ විට, සොයන “යමක්”, ලබන “යමක්” හමු නොවේ. ඒ ඇයි සෙවීම පමණි යමක් වී ඇත්තේ. එය එතෙර වන මඟයි. සෙවීම යමක්වීම ඉක්මවීම එතෙර වීමයි. 

ගින්නේ ක්‍රියාව පිච්චෙන එක පමණි. පිච්චෙන දෙය අදාල ම නැත. සියල්ලම පිච්චේ. එය ගින්නේ ස්වභාවයයි. සියල්ලම පිච්චුන විට ගින්න ද නිවේ. මන්දයත් පිච්චෙන්නට යමක් නැත. පිච්චෙන විට, පිච්චෙන්නේ “යමක්” ලෙස ගින්නට නැත. එය පිච්චීම පමණක් කරයි. අවසානයේ නිවේ. 

“ගින්න” යනු “සෙවීම යමක්” වීමයි. එම ගින්නට පිච්චෙන දෙය අදාල නැත. එය පිච්චීම පමණක් කරයි. එනම් “යමක්” සොයන්නේ නැති බවයි. ගින්නේ වැඩේ අවසන් වූ විට ම නිවේ. “සෙවීම” යමක් වී එහි කෘත්‍ය සිදුවන විට “සෙවීම ද” ඉක්මවයි. එනම් ප්‍රඥාව ද ඉක්මවා නිවේ.

මෙය පෙන්වූයේ දහම ඉගෙන ගැනීමට යොමුවිය යුතු ආකාරය පැහැදිලි කිරීම යි.

තෙරුවන් සරණයි .

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි 

2020.05.02