නමෝ බුද්ධාය !

හොදින් සිතන්න :

අඹ ඇටයක් ගැන සිතන්න. අඹ ඇටයක් ගලක් උඩ ගිනි අව්වේ තැබුවොත්, එසේත් නැත්නම් පිච්චුවොත් එය පැලවේද? නැත. අඩුම තරමින් එහි පැලවන ස්වභාවය ඇති බව වත්, නැති වේ. නමුත් පොහොර සහිත පොළවක එය පැලකර වතුර යෙදූවිට එම බීජය පැලවේ.පොළවේ රසයත්, ජලයත් සමඟ අඹ ඇටය පැලවී කොළ අතු දමා, මල් ඇතිවී, අඹ ගෙඩි ඇතිවේ. අඹ ඇටය ගලක් උඩ අව්වේ තැබීමට හෝ පිළිස්සීමට පෙරත්, පොළොවේ පැල කිරීමට පෙරත් එහි ස්වභාවය කුමක්ද? එම බීජයට අරටු සහිත ගසක් ලබාදීමේ ස්වභාවය ඇත. කොළ සකස් වීමේ ස්වභාවය ඇත. මල් හටගැනීමේ ස්වභාවය ඇත. ගෙඩි ගටගැනීමේ ස්වභාවය ඇත. එම හටගත් ගෙඩිවල ඇති ඇටවල නැවත නැවතත් එම ස්වභාවය ඇත. නමුත් එම ස්වභාවය ඵල දරන්නේ කෙසේද? පොළොවෙහි වල දමා වතුර දමන විටයි.ඒ සඳහා පොළොවේ රසයත්, වතුරත් අවශ්‍ය වේ.

නමුත් පොළොවට බීජය නොදමා වතුර දමන විට අඹ ගසක් හට ගන්නේ ද? නැත. පොළොවටත්, ජලයටත්, අඹ ගසක අරටුවක්, කොළ, මල් හා අඹ ගෙඩි ලබාදෙන ස්වභාවය කිසිසේත්ම නැත. නමුත් අඹ ඇටයට ඒ ස්වභාවය ඇත. එය සිදුවන්නේ පොඅලොවෙ පැල කර ජලය දමන විටයි. නමුත් ජලයේ හෝ පොළොවේ හෝ එම ස්වභාවය නැත.පොළොව හා ජලය ආධාරයෙන් අඹ ඇටයේ ස්වභාවය මතුවේ. එසේ වන්නේම අඹ ඇටයේ එම ස්වභාවය නිසාමයි. ගසේ කඳ, කොළ, මල්, ගෙඩි ලැබෙන්නේම ඇටයේ තිබූ ස්වභාවයෙනි. ලැබූ දෙය අඹ ඇටයේ ස්වභාවයෙන් ඉස්මතු වූවක් මිස, එය අඹ ඇටය නොවේ. ඒ සඳහා පොළොව, ජලය අවශ්‍ය විය. ගස, කොළ, මල්, ගෙඩි යනු අඹ ඇටයේ ස්වභාවය නොවේ. අඹ ඇටයේ ස්වභාවයෙන් පොළොව හා ජලයෙන් ලැබූවක්. එසේ පොළොව සහ ජලය ආධාරයෙන් ලැබෙන ගස, කොළ, මල්, ගෙඩි නොමැතිව අඹ ඇටයේ ස්වභාවය කතාකළ නොහැක. පෙන්විය නොහැක. නමුත් ඒ අඹ ඇටයේ ස්වභාවයෙන් ලැබූවක් මිස, අඹ ඇටය නොවේ. එය අයිති වන්නේම පොළෝ රසයට හා ජලයටයි. අඹ ඇටයේ ස්වභාවය නිවැටදිවම බලන විට එයින් ගස, කොළ, මල්, ගෙඩි හමු නොවේ.

පොළොව හා ජලය එකතු වූ විට පමණක්ම ගස, කොළ, මල්, ගෙඩි හමුවේ. නිවැරදිවම අඹ ඇටයේ ස්වභාවය හමුවන විට කිසිම විටක ගස, කොළ, මල්, ගෙඩි හමු නොවේ. එමෙන්ම එම අඹ ඇටයෙන් ප්‍රයෝජනයක්ද නැත. නමුත් පොළොව, ජලය ඇතිවිට අඹ ඇටයේ ස්වභාවය ඉස්මතු වී ප්‍රතිඵලය ඇති වේ. එයින් පැවැත්ම දිගටම සිදුවේ. අඹ ඇටයේ ස්වභාවය නිවැරදිවම “පෙනීමක්” නොලැබේ. පෙනීමෙන් ලැබීමට පොළොව සහ ජලය උපකාරයෙන් පැලවිය යුතුය. එසේ පැළ වූව සෙවූ විට අඹ ඇටයක් හමු නොවේ. එවිට මුල් පමණක් ඇත. “හමුවූව” සොයන විට අඹ ඇටයේ ස්වභාවය “පෙනීමට” හමුනොවේ. එසේ නම් කිසිම විටක, අඹ ඇටයේ ස්වභාවය “පෙනීමට” හමු නොවේ. එය “පෙනීමකින් තොරව” වෙනමම ක්‍රමයකට “හමුනොවන” ඇත්තකි.

මේ ආකාරයට අඹ ඇටයේ සත්‍ය ස්වභාවය “පෙනීමකින් ද තොරව”, “හමුවීමකින් ද තොරව” වැටහෙන විට “ලැබූ” ගස, කොළ, මල්, ගෙඩි යන කරුණුවල අදාලත්වයකින් තොරව ගස, කොළ, මල්, ගෙඩි වල හට නොගත් “ස්වභාවය ම” ප්‍රකට වේ.

එනමුදු අඹ ඇටය පැල නොවන ස්වභාවය සිදුවී නැත. එසේ සිදුවන්නනට නම් එම අඹ ඇටය ගලක් මත අව්වේ වේලීම හෝ ගින්නේ පිච්චෙන්න වෙයි. යම් මොහොතක අඹ ඇටය එලෙසට විනාශ වූ විට, අඹ ඇටයේ ස්වභාවය වන ගස, කොළ, මල්, ගෙඩි ඇති වන බවද, නැති වන බවද අඹ ඇටයක් යන කතාවද ඉක්මවයි.

මෙම උපමාවට පහත උපමේය සමඟ ගලපන්න.

  1. අඹ ඇටයේ ස්වභාවය යනු පුරුෂයා වන ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද වේ.
  2. අඹ ඇටය පොළොවේ පැළවීම හා ජලය එක්වීම යනු සත්වයාගේ සසර පැවැත්ම නම් වූ ජීවන පැවැත්මයි.
  3. ගස, කොළ, මල්, ගෙඩි ලැබීම යනු ජීවන පැවැත්ම ම ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ලෙස ප්‍රකට වීමයි. එහිදී අඹ ඇටය නැතිබව යනු ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ස්වභාවය නිවාරදිව ප්‍රකට නොවීමයි.
  4. අඹ ඇටයේ ස්වභාවය පිටින් බැලීම යනු මාර්ගය වේ. එය බැලීම යොමුවීමට ගස, කොල, මල්, ගෙඩි ද මූලිකව අවශ්‍ය වේ.
  5. පෙනීමක් ලෙස හා හමුවීමක් ලෙස පෙන්වූයේ ගස, කොළ, මල්, ගෙඩි පෙනීම හා හමුවූ ලෙසින් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද පෙනීමක් හා හමුවීමක් ලෙස ලැබීමයි.
  6. අඹ ඇටයෙන් ප්‍රයෝජනයක් නැති බව පෙන්වූයේ සක්කාය දිට්ඨිය දුරුවීමයි. අඹ ඇටය සංඛතයයි.
  7. පෙනීමක් හා හමුවීමකින් තොරව, අඹ ඇටයේ ස්වභාවය, “හටගැනීම ඉක්මවමින්” හටගැනීමේ ක්‍රියාව ලැබීමයි. එය සත්‍යද වේ. පෙනීමක්ද හමුවීමක්ද නැත. එනම් ගෝචර බවකින් හෝ ලබන දෙයකින් තොරව ප්‍රඥාවෙන්, දුක සකස්වන ආකාරය “තමන්ට හමුවන ලෝකයේ හට ගැනීමෙන් තොරව” එතෙර වන ආකාරය දැකීමයි. එවිට ගස, කොළ, මල්, ගෙඩි නොලැබූ සෙයින් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ලෙස, ලෝකයේ පැවැත්මෙන් ලැබෙම දෙයින් තොරව එතෙරවීම හමුවීමයි.
  8. අඹ ඇටය විනාශ නොවී තිබියදීම ගස, කොළ, මල්, ගෙඩි නොලැබීම (ගසක් නොයෙදීම) යනු ප්‍රඥාවෙන් එතෙරවීම නම් වූ නිරෝධයයි.
  9. අඹ ඇටය විනාශ වූවක් යනු නිවීම සාක්ෂාත් වීමයි.
  10. අඹ ඇටය විනාශ වූ විට පොළොව, ජලය, ගස, කොළ, මල්, ගෙඩි පමණක් නොව අඹ ඇටයද එහි ස්වභාවයද ඉක්මවීම යනු නිවීමේ විග්‍රහය වේ.

මේ උපමාවේ තවත් අරුත් තේරුම් ගැනීමට තිබේ. එම නිසා මේ උපමාව ගැන හොඳින් හිතන්න. අපි අපට තේරෙන ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ගැන කල්පනා කරන්න, ප්‍රඥාව කුමක්ද යන වග සිතන්න, එමෙන්ම නිවීම ගැනත් සිතන්න.එවිට තම තමන් තුළ ඇති දෘෂ්ටි දුරු වේ.පහුර පවුරක් ම බවත් හමුවේ. තථාගත දහමේ ගැඹුරත් හමුවේ. ශ්‍රද්ධාව ම ඉස්මතු වේ.මාර්ගය ප්‍රකට වේ.

***මෙය විශේෂ අවධානයෙන් බලන්න. ගොඩක් අවධානයෙන් බලන්න. මේ දහම විස්තරයක් නොවේ. එම සත්‍ය අඩුවකින් තොරව තථාගතයන් වහන්සේ දහම වදාළහ. අපි කොටු වූ වැරදි දෘෂ්ටි ඉක්මවා දහමට යොමු වීමට ම පමණි.

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ