පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකල භාර සූත්‍රය ධර්ම දේශනාව

22-07-03

ධර්ම දේශනාව Youtube

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම තුළින් සත්‍යවාදී විචක්ෂණයෙන් යුක්තව ජීවිතය ගතකරන අයට සැබෑම විමුක්තිය කරා යොමුවීමට බොහෝ උපකාරයක් තියෙනවා. ලෝකය තුළ බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන යුගයක සත්‍යවාදී කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් පහළ වූවාට ඒ කෙනාට ජීවිතයේ සත්‍ය හොයන වැඩපිළිවෙළක් කරා යොමු වෙන්න බැරි වෙනවා. ඒක ඔහුගේ අක්ඛනයක්. එච්චර අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක් වුවද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා නැත්නම් ඔහුගේ ඒ ඉපදීම අවාසනාවක්. ඒක අක්ඛනයක්. අපි දැන් ඉපදිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්චි යුගයක. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ජීවමානව පවතින යුගයක. හැබැයි අපේ අක්ඛනය වෙන්නේ ‘ප්‍රඥාවන්ත බවකින් යුක්තව ඉපදිලා බුදුරජාණන්වහන්සේ නමක් පහල නොවීම’ කියන කාරණාව නෙවෙයි. අපේ අක්ඛනයක් වෙනවනම් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා තියෙද්දි, ඒ ධර්මය ජීවමානව ලෝකයේ පවතිද්දි, අපි තුළ සත්‍යවාදී ප්‍රතිපදාවක් නැත්නම්, අපිතුල සත්‍යවාදී ජීවිත පැවැත්මක් නැත්නම්, අපි විචක්ෂණශීලී බවින් යුක්ත නැත්නම්, අන්න එහෙම උනොත් තමයි අපිට අක්ඛනයක් බවට පත්වෙන්නෙ. ඒ නිසා අපි හැමවෙලේම ජීවිතේ ගැන සත්‍යවාදීව විමසන්නට ඕන. ජීවිතේ ජීවත් වෙද්දී ජීවිතේ යෙදෙන කාරණා එක්ක අන්ධයෙක් වගේ ජීවිතේ ගත කරන්න හොඳ නෑ. අද බොහෝ දෙනෙක් ලෝකයේ සිටින්නේ ජීවිතේ ජීවත්වෙන කාරණාවක් යෙදෙද්දි අන්ධයෙක් වගේ ගතකරන එක. එහෙම ගතකරන සමාජයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. එහෙනම් අපි තුළ මේ ලැබුන වාසනාව, මේ ලැබිච්ච උතුම් දහම නිසා අපි හුරුකරගන්නට ඕනෙ නිරන්තරයෙන්ම ජීවිතයේ සත්‍ය සොයන්න. හැමවෙලේම සත්‍යවාදී වෙන්න ඕනෙ. සත්‍යවාදී වෙනව කියල කියන්නෙ පින්වතුනි ජීවිතයේ යෙදෙන කාරණා එක්ක ජීවිතය පිළිබඳව සිතනවා කියන එක. එහෙම නැතුව නොපැමිණිච්ච දෙයක්, නොපැමිණිච්ච කරුණු මනක්කල්පිතව ගොඩනඟාගෙන තර්ක විතර්ක කර කරා ඉන්න එකට නෙමෙයි. නොදන්නා දෙයක් බලාපොරොත්තුවෙන් කරන ප්‍රතිපදාවකට නෙමෙයි. 

අද අපේ බෞද්ධ සමාජය තුළ හුරුවෙලා තියෙනවා සංස්කෘතියත් එක්ක අපට ලැබිච්ච මේ නිවන් දකින්න ඕනෑ කියන හැඟීම් මත පාදක වෙලා ලැබුණ දුකින් අයින් වෙලා නිවන ලබා ගන්න දඟලන දැඟලිල්ලක් තියනවා. මේ දඟලන දැඟලිල්ලට අපි කොච්චර ප්‍රතිපදා කලත් ඒ තුලින් සත්‍යවාදී වෙන්න බෑ. මොකද හේතුව? අප තුළ තියෙන්නෙ සත්‍යවාදී බව නෙමෙයි. දුකෙන් පලායන්න නිවන ලබා ගන්න දඟලන දැඟලිල්ලක් විතරයි. අපි නිවැරදිව දැක්කොත් එහෙම යථාර්ථය, අපට දුකෙන් පලායන්න අවශ්‍යතාවයකුත් නෑ. ඒවගේම නිවන ලබාගන්න අවශ්‍යතාවයකුත් නෑ. 

මම පුංචි උපමා කතාවක් කියන්නම්. ඔබ අර නාසියස්ගෙ කතාව අහල ඇති. තමන් හරි ලස්සනයි. කවදාවත් දැකලා නෑ ලස්සනයි කියල. දවසක් ජලාශයක් දිහා බලනකොට එයාට පේනව ලස්සන කෙනෙක් ජලාශයේ ඉන්නව. මොකද කරන්නේ? ඒ ලස්සන කෙනා ලබාගන්න දඟලනවා. තමන් තුළ තියෙන ලස්සනක් බව දකින්නෙ නැහැ. අර ලස්සන කෙනා ලබාගන්න, එයා අල්ලන්න, එයා සිඹින්න දඟලනවා. ඒ දඟලන දැඟලිල්ලක් විතරයි එතන තියෙන්නෙ. කවදාවත් එයාට ඒ ලස්සන කෙනා ලබාගන්න බෑ. මෙන්න මේ වගේ තමයි අපටත් මේ දුකක් එනකොට මේක වදයක්. මේකෙන් අයින් වෙන්නට ඕන. නිවන් දකින්නට ඕන. මේ වදෙන් අයින් වෙලා නිවන් දකිනවා කියන සැපය ලබාගන්න උත්සාහ කරනවා මිසක් ජීවිතයේ යෙදෙන යෙදීම පවතින්නේ කොහොමද, මොකක්ද මේකෙ ක්‍රියාකාරිත්වය කියල හොයන්න මහන්සි වෙන්නෙ නෑ. එහෙම ජීවිතයේ යෙදෙන යෙදීම් එක්ක හොයන්න මහන්සි වෙනව නම්, අපි පින්වතුනි, අපේ ජීවිතයට කෙලෙස් එන තැනදි අප නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ සත්‍ය සොයන්න. 

අද බලන්න මේ ලෝකයක්  දුවන දිවිල්ල. රාගය එනකොට රාගයෙන් දුවනව. ද්වේශය එනකොට ද්වේශය එක්ක දුවනවා. කාමය එනකොට කාමය එක්ක දුවනව.  සිතට වසඟ වෙන කරුණු එනකොට ඒ එක්ක  දුවනවා. ඊළගට දැඩිකම, මාන්නය, අකීකරු කම මේව එක්ක දුවනව. ඒ විතරක් නෙමෙයි. මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා නිවන් දකින්න ඕනෙයි කියලා විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරමින් ඒකට අනුකූලව දුවනවා. ඕක නෙවෙයිද තියෙන්නෙ? ඕකයි තියෙන්නෙ. මේ හැම තැනම තියෙන්නෙ දඟලන දැඟලිල්ලක් විතරයි. අපි සත්‍යවාදී නම් අපි ජීවිතේ යෙදෙන කාරණා පිළිබඳව මේ යෙදුනෙ කොහොමද මේ කරුණ මොකද්ද කියල හොයන්න අපි උත්සහයක් දරනව. 

සත්‍යවාදී කෙනාට ලෝකයේ තුළ සත්‍ය සොයන්නෙ නැතිව ජීවිතය ගත කරන්න අමාරුයි. මොකද හේතුව? නොදන්නා දෙයක් එක්ක එකතුවෙලා ඉන්නේ, නොදන්නා දෙයක් එක්ක ලැගගෙන ඉන්නේ මෝඩකම නිසා. සත්‍ය සොයන කෙනා හැමවෙලේම යොමුවෙන්නේ හොයන්න. කෙලෙස් එයි. ඒත් හොයන්න යොමුවෙනවා. කෙලෙස් පස්සෙ යන්නෙ නෑ. ප්‍රතිපදාවක හික්මෙනවා කියලා කියන්නේ කෙලෙස් එනකොට කෙලෙස් ඉක්මවන විදිහට යථාර්ථය දැකීමේ වැඩපිළිවෙළට යොමුවෙනවා කියන එක. එහෙම නැතුව දැං අද අපි ගොඩක් හුරුවෙලා ඉන්නව සේඛ කෙනාට කෙලෙස් තියෙනවා, සෝතාපන්න කෙනාට රාගයයි ද්වේශයයි තියනව, ඉතිං ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. කෙලෙස් එක්ක හිටිය කියල ප්‍රශ්නයක් නෑ. අද මේ අමුතු විදියේ චින්තනයක් තියෙන්නෙ. ලෝකයේ ස්වභාවය එක්ක කතා කලහම කෙලෙස් තියනවා තමා. නැත්තේ නැහැ. හැබැයි කෙලෙස් එක්ක යන්න දඟලන දැඟලිල්ලක් නෙමේ තියෙන්නෙ. පවතින පැවැත්ම ඔස්සේ, යෙදෙන ජීවිතය ඔස්සේ සත්‍ය දකින්න. කෙලෙස් හොයාගෙන යන්නෙ නෑ. 

බලන්ට අපි චරිත ලක්ෂණ ගත්තොත් එහෙම අතීතයේ පවා, සෝතාපන්න වෙච්ච අයගේ පවා මහානාම ශාක්‍යයා ගත්තොත්, තමන්ගෙ රාජකාරිය, ඒක කරනවා. ඉතිං ඒක කරද්දි ඒකට අහු වෙලා ඉන්නවා. හැබැයි එතනින් එහා දෙයකට යන්නේ නෑ. මට මතකයි තවත් ශාක්‍යයෙක් මහානාම ශාක්‍යයා ද මන්දා, බුදුරජාණන් වහන්සේ වෙන පළාතකට වඩිනවා කියලා එයාලා ව්‍යාපාර හදාගෙන ඒ බුදුරජාණන් වහන්සේ වඩින පලාතට යනවා. ඇයි මේ? මේ තමයි පින්වතුනි ජීවිතයේ සත්‍ය සොයන කෙනෙකුට සත්‍ය හැර වෙන දෙයක් අවශ්‍ය නෑ. එයා හැම වෙලේම සත්‍යයි හොයන්නෙ. අද අපේ ජීවිතයේ අපි ආස්වාදජනක දේවල් පස්සේ යන්නේ සත්‍ය සොයන්නෙ නැති නිසා. ජීවිතයේ යෙදෙන කාරණාවේදී ආශ්වාදයක් එක්ක ජීවත්වීම වෙන එකක්. හැබැයි ආශ්වාදයක් පස්සෙ හොයාගෙන යනව කියන එක තව එකක්. මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕනෙ. මේක තේරුම් ගත්තෙ නැත්තං අපි ආශ්වාදය හොයාගෙන යන එක කරමින් අපි හිතනව ධර්මයේ හැසිරෙන කොට, “හා හරි එතකොට නැතිවෙයි” මෙන්න මේ කෝණය එක්ක අද ගොඩක් අය ජීවත් වෙනවා. එතනම පින්වතුනි මේ ධර්මය කියන යථාර්ථය තේරුම් ගන්ට බෑ. 

මේ ජීවිතයේ ප්‍රශ්නෙ තියෙන්නේ “සක්කාය” කියන කාරණාව එක්ක. සක්කාය කියන්නේ මහා දුකක්. සක්කාය කියන්නේ මහා බරක්. සක්කාය කියන්නේ මහා පීඩාවක්. සක්කාය කියලා කියන්නේ ජීවිතයේ යෙදීමක්. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පහ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත දුර ලඟ ගොරෝසු සියුම් කියන මෙන්න මේ යෙදීමක යෙදුන තැනදී ඒ හා එකතු වී සිටීමයි සක්කාය කියන්නෙ. එතකොට අපි ජීවත් වෙනවා කියලා කියන ඕනෙම එකක් මේ කරුණු එක්ක නෙමේද තියෙන්නෙ? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත දුර ලඟ ගොරෝසු සියුම් ඔය කරුණු එක්ක රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ බවක් නෙවෙයිද? ඒකත් එක්ක ලං වෙලා නෙමේද ඉන්නෙ? “සාසවා උපාදානීයං” ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිතයි කියනකොට ආශ්‍රව තියෙනව කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. අපි මොනම හෝ ක්‍රමයකට යම් රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයක ප්‍රණීතත්වයක යෙදීමක් තියෙනව නම් ඒක පැවැත්මක ආශ්‍රවයන් නෙවෙයිද? පැවැත්මක්. අවිජ්ජා ආශ්‍රවයක් නෙවෙයිද? අවිද්‍යාවක්. එතකොට මෙන්න මේ ඕනෙම යෙදීමක් ජීවිතයේ මහා වදයක්, බරක් ඒක පීඩාවක්. නමුත් ඔබ දකිනවාද? ඔබ දකිනවා නම් ඔබේ ජීවත්වෙන ඔබට ආවේනික රාමුවක මොනවහරි කාරණාවක කොටුවෙලා, ආශ්වාදයක් භුක්ති විඳිමින් තවත් ආශ්වාද හොයහොයා යන්නේ කොහොමද? ආශ්වාදයක් භුක්ති විදිමින් ආශ්වාදය හොයහොයා යනවා. දැං එතකොට අපේ යෙදීම සක්කාය බරක් වෙලාද? නෑනෙ. සක්කාය හොඳ දෙයක් වෙලානෙ. ඇයි? අපිට රාගය ආවම රාගය එක්ක භුක්ති විදිනවා. ද්වේශය ආවම  ද්වේශය එක්ක භුක්ති විදිනවා. කාමයන් ආවම කාමයන් එක්ක භුක්ති විදිනවා. තව මොනවහරි රසාස්වාද භුක්ති විදින්න ඕනෙ උනාට පස්සේ ඒ රස ආශ්වාද එක්ක භුක්ති විඳිනවා. ඊට පස්සෙ නිවන් දකින්නයි කියලා ප්‍රතිපදාව හුරු කරනවා කියලා, විමුක්තිකාමිත්වය ඇතිකරගන්නවා කියල යම් ප්‍රතිපදාවක් එක්ක යෙදුනු සක්කාය භුක්ති විඳිනවා. සත්කාය නිරෝධයි කියලා ලබාගත්ත සක්කාය එක්ක භුක්තිවිදිනවා. එහෙමත් භුක්ති විදිනවා. 

මම හිතන්නෙ මම මේ ලඟදි  සාකච්ඡාවකදිත් පැහැදිලි කලා සක්කාය, සක්කාය නිරෝධය දැන් අපට සක්කාය කියල වෙනම එකක් තියෙනවා. සක්කාය නිරෝධය තව එකක් වෙලා. ඔය දෙක මැනපු තුන්වෙනියා ඔය දෙකම මැනීමේ යෙදීම සක්කාය නෙවෙයිද? සක්කායක් වෙනම තියෙනවා, “ඕක සක්කායක්. ඔය සක්කායක් ලැබුනෙ. ඕක වැරදියි. සක්කාය නිරෝධය හරි”. දැං සක්කායකුයි සක්කාය නිරෝධයකුයි කියලා වෙන කෙනෙකුට යෙදීමක් වෙලා. ඕක සක්කායක් නෙවෙයිද? ඒක සක්කායක්. ඒක බරක්ද? නෑනෙ. ඒක සැහැල්ලුවක් වෙලානෙ. එතන සක්කායක් බව ඥානයක් වෙලා නෑ. 

මෙන්න මේ විදිහට දඟලන දැඟලිල්ලක් මේ ලෝකෙ තියෙන්නෙ පින්වතුනි, සත්‍යවාදී බවේ උපරිමත්වයට අපි නොයන නිසා. සත්‍යවාදී බවේ අපි උපරිමත්වයට යනකොට අපට යම්කිසි වූ විග්‍රහයක යම්කිසි වූ නිරවද්‍ය භාවයක කොටු වීමකට ඉඩක් නෑ. යම්කිසි විග්‍රහයක නිරවද්‍ය භාවයක කොටු වෙනවනම්, ඒ කොටුවීමත් සක්කායක්ම‍යි. ඉතිං මෙන්න මේක බරක් බව අපි දකිනවද නැද්ද මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. 

මං ඔබට පැහැදිලි කර දෙන්නේ අද සංයුක්ත නිකාය 3 ඛන්ධ සංයුත්තයේ තියෙන භාර සූත්‍රය. හරි ලස්සනයි. 

සැවැත් නුවර නිධානය. ආනන්ද උත්තමයන් වහන්සේ පලවෙනි සංගායනාවෙදි ඉදිරිපත් කරන්නේ. 

භාරඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි භාරහාරඤ‍්ච, භාරාදානඤ‍්ච, භාරනික‍්ඛෙපනඤ‍්ච. තං සුණාථ -පෙ- එතදවොච:

ඔන්න බුදුරජානන්වහන්සේ දේශනා කරනවා. මොකද්ද දේශනා කරන්නේ? මහණෙනි මා නුඹලාට

  1. භාරඤ්ච, බර, භාරය කියන කාරණාව මම දේශනා කරනවා.
  2. භාරහාරඤ්ච, බර ඇදගෙන යන්නා ගැනත් මම දේශනා කරනවා. බර ඇදගෙන යන්නා.
  3. ඊළඟට, භාරදානඤ්ච, බර ඇද ගැනීම ගැනත් දේශනා කරනවා.
  4. භාරනික්ඛේපනඤ්ච, බර නික්මීම ගැනත් දේශනා කරනවා.

හොඳට අහන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි හොඳට අහන්නට ඕන. මෙතන කරුණු හතර කියනකොට පොඩි කරුණු ටිකක් වෙනස් භාවයක් ආවෙ නැද්ද? මම නුඹලාට බර කියල දෙනවා. භාරය කියලා දෙනවා. බර ඇදගෙන යන්නා කියලා දෙනවා. දරාගෙන ඉන්නා ඇදගෙන යන්නා. බර ඇදගැනීම කියල දෙනවා. දැන් එතන කතෘත්වය නැතිවෙලා නේද? බර නික්ඛේපණය කියලා දෙනවා. බර කියන එකයි, බර ඇදගෙන යෑම කියන එකයි, බර නික්ඛේපනය කියන එකෙයි පුද්ගලත්වය කතාව කතා කරලා නෑ. බර අරගෙන යන්නා කියන එකේදි පුද්ගලත්වයක් ආරෝපණය වෙලා තියෙනවා. ඔන්න දැං බුදුන් වහන්සේ දේශනා කරනව හොඳින් අහන්න කියලා. දැං බලමු බුදුරජාණන්වහන්සේ දේශනා කරන හැටි. දැං බුදුරජාණන් වහන්සේ මේ කරුණු වෙන් වශයෙන් භික්ෂූන්ට දේශනා කරනවා. 

එතකොට මේ කාරණා කුමක්ද කියලා පැහැදිලි කළ යුතුයි. එතකොට පැහැදිලි කරන්න ඕනේ බර කියන කරුණ මොකක්ද, බර අරගෙන යන කෙනා කියන කාරණාව මොකක්ද, බර අරගෙන යෑම කියන කාරණාව මොකක්ද බර නික්ඛේපනය කිරීම කියන්නේ මොකක්ද. ඔය කරුණු හතර විග්‍රහයක් හැටියට පැහැදිලි කිරීමක් හැටියට මෙන්න මේකටයි මේ කියන්නේ කියලා පැහැදිලි කරල දෙන්නට ඕන. එතකොට ඒ පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේ නැත්නම් කෙනෙක් ඉඳලා කෙනෙකුගේ දකින දැක්ම විග්‍රහය නෙමේ. දැන් අපි යම් කාරණාවක් ඉගෙන ගන්න කොට ඒක විග්‍රහ වශයෙන් ඉගෙන ගන්නවානෙ. විග්‍රහ වශයෙන් ඉගෙන ගන්නකොට ඒකේ විග්‍රහය පැහැදිලි කරනවා. සිද්ධිය පැහැදිලි කරනවා. 

දැන් අපි ගත්තොත් එහෙම උද්දේසවිභංග සූත්‍රය එහෙම පැහැදිලි කරනවා “අත්තං උපපරිඛති” කරනකොට “අජ්ඣත්තං අසංටිතං බහිද්ධා අවිඛිත්ථං” සිදුවෙන විදිහක් නේද? සිදුවෙන විදියක්.

බද්දේකරත්ත  සුත්‍රයේ පැහැදිලි කරනව “අතීතං නාන‍්වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං. පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති, අසංහීරං අසංකුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ. අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ, න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා. එවං විහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං, තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.” කියල මේ සිදුවෙන විදිහක් නේ. හැබැයි ඊට පස්සේ ඒ සිදු වෙන විදිහ නේ විග්‍රහ කරන්නෙ. කරුණු ටිකක් විග්‍රහ කරන්නෙ. 

දැං සච්චවිභංග සූත්‍රය ගත්තොත් එහෙම කරුණු ටිකක් විග්‍රහ කරනව නේ. ජාතිය කියන්නේ මොකක්ද,  ජරාව කියන්නෙ මොකද්ද “කථමඤ්ච භික්ඛවේ ජාති” ඔන්න කරුණු ටික විග්‍රහ කලා. ඊළඟට ඒ කරුණු විග්‍රහ කිරීමෙදි සම්පූර්නයෙන් වෙනම න්‍යායක් හැටියට වෙනම සිද්ධියක් හැටියට විග්‍රහ කරනව. 

සිදු වන විදිහක් විග්‍රහ කරන කොට එතනදි විග්‍රහ කිරීමේදී ඒ විග්‍රහයෙදි ප්‍රතිපදාව නැත්නම් දකින විදිහක් එක්ක විග්‍රහය එන්නට ඕනෙ. ඒ කාරණාව  මම ඔබට පැහැදිලි කලේ මේ සූත්‍රයේ දී ඒක ගොඩක් ඔබට පැති ටිකක් විවෘත වන නිසා. 

දැන් ඔන්න එහෙනම් කරුණු හැටියට විග්‍රහ වෙනව කතමෝච කියලා. කවරක්ද කියල විග්‍රහ කරනව. මොකක්ද කියල කරුණු හැටියට විග්‍රහ කරනවා. 

කතමො ච භික‍්ඛවෙ භාරො:

මහණෙනි මොකද්ද භාර කියන්නේ? බර කියන්නේ මොකක්ද?

පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයං.

පංච උපාදානස්කන්ධයට කියනව බර කියල.

කතමෙ පඤ්ච

මොකද්ද ඒ පහ

රූපූපාදානක‍්ඛන්‍ධො, වෙදනූපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. අයං වුච‍්චති භික‍්ඛවෙ භාරො. 

අපි ඔබට නිතරම පැහදිළි කරල තියෙනව පංච උපාදානස්කන්ධය කියල කියන්නෙ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පහට නෙමෙයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. ඒක කොහොම විග්‍රහ කරද්දී ද?  කරුණක් හැටියට ඒක විග්‍රහ කරනකොට. 

යෙදීමක් හැටියට කරුණු කතා කරනකොට ඒක එහෙම කතා කරන්න බෑ. මොකද අතීත වූ අනාගත වූ වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ ගොරෝසු හෝ සියුම් හෝ රූපය කියන කාරණාව සාසවා උපාදානීය කියන කරුණ යෙදීමක් හැටියට කතා කරන්න බෑ. ඒක කරුණක් හැටියටයි කතා කරන්න පුළුවන්. 

යෙදීමක් හැටියට කතා කරනකොට එක්කෝ කෙනෙකුට යෙදුනනම් රූපය, හැබැයි කෙනකුට යෙදුනහම රූපය, ඒ සිද්ධියට කතා කරන්න පුළුවන් රූප උපාදානස්කන්ධය කියල. ඒ කියන්නෙ අපි ගත්තොත් එහෙම, කෙනෙකුට යෙදුනා ප්‍රණීත වශයෙන් රූපය, සාසවා උපාදානීය. මේ සිද්ධිය ගන්න පුළුවන් මොකක් කියලද? පංච උපාදානස්කන්ධය. ඒක වෙනම කියන්නෙ. 

අන්න ගිරිමානන්ද සූත්‍රයෙ තියෙන්නෙ. “අනිව්චානුපස්සී විහරති” පැහැදිලි කරනවා කොහොමද අනිව්චානුපස්සී පැහැදිලි කරන්නේ? භික්ෂුවක් ගිහිල්ලා අරන්න්‍යකට ගිහිල්ලා “ආරන්‍යගතෝවා රුක්ඛමූල ගතෝවා ඉති පටිසඞචික්කති”  කොහොමද ප්‍රත්‍යවෙක්ෂා කරන්නෙ? රූපං අනිච්චා, වේදනා අනිච්චා…..දැං  භික්ෂුවට පුළුවන්ද රූප උපාදානක්ඛන්ධා අනිච්චා, වේදනා උපාදානක්ඛන්ධා අනිච්චා… කියල ප්‍රත්‍යවෙක්ෂා කරන්න? බෑ. ඉතිං වේදනා උපාදානස්කන්ධය කියන්නෙ අපි ගනිමුකො ප්‍රණීත කියල. ප්‍රණීත කාරණාවක විඳීමේ සාසවා උපාදානීය බවට. එතකොට භික්ෂුවක් ගිහිල්ල භික්ෂුවට වේදනා උපාදානස්කන්ධය විමසන්න පුලුවන්ද? බෑ. වේදනාවයි විමසන්න පුලුවන්.  ඒ වේදනාව, යෙදීමේ වේදනාවේ සාසවා උපාදානීය බවට කියනවා වේදනා උපාදානස්කන්ධය කියල. දැං එතකොට ගිරිමානන්ද සූත්‍රයේදී තියෙනවා භික්ෂුවක් ගිහිල්ලා මේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ උපාදානස්කන්ධ විමසනවා. මේක අනිච්ච සංඥාව. එතකොට මේ සිද්ධිය අළලා පැහැදිලි කරනවා “ඉති” මෙසේ “ඉති පංච උපාදානස්කන්දේසු අනිච්චානුපස්සී විහරති”. දැන් ඒ සිදුවුනේ එහෙම නෙමේ ද? සිදුවීම? අන්න අර යෙදිච්ච භික්ෂුවට ගෝචර වෙච්ච රූපය සාසවා උපාදානීය වෙච්ච කරුණ නේද අනිත්‍ය වශයෙන් දැක්කෙ? “ඉති” කියලා මෙසේ කියල ඒ කාරණාව අන්න පංච උපාදානස්කන්ධ. දැං හරි. හැබැයි භික්ෂුවට යෙදෙන කාරණාව එක්ක ගත්තහම පංචඋපාදානස්කන්ධ කතාව කතා කරන්න බෑ. මොකද පංචඋපාදානස්කන්ධ කතාව තියෙන්නෙ ප්‍රණීත හෝ කුමන හෝ කාරණාවක යෙදුන විඳීම සාසවා උපාදානීයව. ඒක කොහොමද භික්ෂුවකට හම්බවෙන්නෙ? එතකොට ඒක තව කාරණාවක ගෝචරත්වයක් නේද? 

එහෙනම් පංචඋපාදානස්කන්ධය කියන කාරණාව කතා කරන්න පුළුවන් මොකක් එක්කද? යම් විග්‍රහයක් දෙනකොට. මෙසේ කියලා පෙන්නන්න පුළුවන්. විග්‍රහයක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිදුවීමක් එක්ක කතා කරනකොට පංචඋපාදානස්කන්ධ‍ය කතා කරන්න බෑ. මොකද සිදුවීමක් එක්ක කතා කරන්න බැරි? සිදුවීමක් එක්ක කතා කරන්න ගියොත් එහෙම ඒ සිදුවන්නා වෙනම ඉන්නවා. පංචඋපාදානස්කන්ධයක් වෙනම කියනවා. එතකොට එහෙනම් පංචඋපාදානස්කන්ධය කියලා ඒ සිදුවන්නාට හම්බ වෙච්ච දේට සක්කාය වෙන්නේ එහෙම නැත්නම් ඒ සිදු වන්නාගේ පංචඋපාදානස්කන්ධ බව යෙදීමට සක්කාය වෙන්නෙ. ප්‍රශ්නයක් වෙනවා නේද? එහෙනම් පංචඋපාදානස්කන්ධ සක්කාය කියනවනම්, ස්වකීයත්වය කියනවනම්, සිදුවන්නාට පංචඋපාදානස්කන්ධ බවක් හම්බඋනා නම්, ඒ හම්බෙච්ච බවට සක්කාය කියන්න බෑනෙ. ඒක එහෙනම් කෙනෙකුට හම්බෙච්ච පංචඋපාදානස්කන්ධයක්නෙ. කෙනෙකුට හම්බවෙච්ච සක්කායක් කියන එක අර්ථාන්විත නෑනෙ. ස්වකීයත්වය කියන එක අර්ථාන්විත නෑනෙ. 

එතකොට එහෙනම් ස්වකීයත්වය කියන්න තියෙන්නේ කෙනාට යෙදුන සිද්ධිය. ඒකටයි සක්කාය කියන්නෙ. මේක ගැඹුරුයි ටිකක්. මම ඔබට මේ ගැඹුරින් ම පැහැදිලි කරන්නේ. ඔන්න ඕකටයි සක්කාය කියල කියන්නේ. එතකොට එහෙනම් පංචඋපාදානස්කන්ධය කියන කාරණාව, සක්කාය කියන එක, බාහිර වෙනම කරුණු ටිකත් හැටියට නේද විග්‍රහ කරන්න පුලුවන්. එහෙම නැතුව යෙදෙන වැඩපිළිවෙලක දකින දැක්මක් එක්ක ගෝචරත්වය එක්ක කතා කරන්න බෑ. දකින දැක්මක සිදුවීම වෙනම කතාකරන්න පුලුවන්. හැබැයි ගෝචරත්වය එක්ක කතා කරන්න ගියොත් පටලැවෙනවා. මොකද ඒකට සක්කාය කියන නිර්වචනය දාන්න බෑනෙ එතකොට. පංචඋපාදානස්කන්ධයක් කියනකොට විදර්ශනා කරනකොට ඒ බවක් ලැබෙනවා නම්, පංචඋපාදානස්කන්ධ  බවටයි සක්කාය කියන්නෙ. එතකොට එයාට පංචඋපාදානස්කන්ධ බවක් ලැබීම? ඒක මොකක්ද? ඒකනෙ සැබෑම සක්කාය කියන්නේ. 

එහෙනම් පංච උපාදානස්කන්ධය කියන කාරණාවක්, යෙදෙන කාරණාවක් හැටියට කෙනෙක් ලබාගන්ත නම් ඒක අර්ථාන්විත නෑනේ. යෙදෙන පංචඋපාදානස්කන්ධය කියන විග්‍රහය කතා කරන්න පුළුවන් වෙන්නේ විග්‍රහයක් හැටියට තමයි පංචඋපාදානස්කන්ධය. සිදු වෙන සිද්ධිය වෙනම කතා කරන්න පුලුවන්. දැන් “උදයත්ත ගාමිණී ප්‍රඥ්ඥාව” මොකක්ද කතා කරන්නේ? “පංචඋපාදානස්කන්දේසු උදයභ්‍යානු පස්සී විහරති” සිද්ධිය කතාකරන්නේ. සිද්ධියේ විග්‍රහය? “ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ”. ඉති රූප උපාදානක්ඛන්ධෝ ඉති රූප උපාදානක්ඛන්ධ සමුදයෝ … එහෙම නෑ. ඉති රූපං මෙසේ රූපයයි, මෙසේ රූපය හටගැනීමයි මෙසේ රූපය නැතිවීමයි. එතකොට සිදු වීමේ කෘත්‍යය, විග්‍රහය, පංච උපාදානස්කන්ධය කියලා කතා කරනවා. 

එහෙනම් හොඳට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධ කියන විග්‍රහය කතා කරනකොට ප්‍රතිපදාවක් හැටියට යෙදීමේ විග්‍රහයක් එක්ක කතා කරන්න බෑ. අද අපි ගොඩක් වරද්ද ගත්ත එකක් ඒක. එතකොට එහෙනම් අපිට බාහිරින් කතා කරන්න පුළුවන්, අපි ගත්තොත් එහෙම වෙන කෙනෙකුගෙ සිද්ධියක් කතා කරන්න පුළුවන්. තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. භාරය කියලා, බර කියලා කියන්නෙ පංච උපාදානස්කන්ධය. එහෙනම් අපේ යම් යම් වූ ජීවත්වීමක් තියෙනවද, අපේ යම් වූ යෙදීමත් තියනවද, මොනම හරි යෙදීමක්, ඒක සක්කාය නේ? ස්වකීයත්වය කියන්නෙ ඒකනෙ. ඒ ස්වකීයත්වය, සක්කාය කියල කියන්නෙ මොකක්ද? පංච උපාදානස්කන්ධය. එක බරක් ද නැද්ද? බරක් නේ. දැන් බරක් බව ඥානයත් තියෙනවද නැද්ද? ඔන්න ප්‍රශ්නේ. අපට යමක් ප්‍රණීතය නම්, බරයිද? බර නෑනේ. ප්‍රනීතයි නම් හොඳයි නේ. අපි යමක් හරි කියලා ගත්තා නං බරයිද? එතකොට අපේ යෙදීම් අපට බර නැති සක්කායකුත් තියෙනවා, බර පංච උපාදානස්කන්ධයකුත් තියෙනව. ඒක ප්‍රශ්නයක්. එහෙම වෙන්න බෑ. 

අන්න ඒක නිසා තමයි, මේ ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ සත්‍යවාදී කෙනාගෙ සත්‍ය විමසීමත් එක්ක කල්‍යාණ මිත්‍රයාට යොමු වීම. නැත්තං අපිට තියෙනවා හොඳ බරක්. හොඳ සක්කායක්. හොඳ පංච උපාදානස්කන්ධයක්. එතකොට අපි ඒකෙ ලැගගන්නවා. එහෙනම් හොඳට තේරුම් ගන්න ඒක. ඒ ප්‍රතිපදාවෙ අපි යනකොට අපට එතැනදි පංච උපාදානස්කන්ධය කියන නුවණ යෙදිල නෑ. නුවණ යෙදුන නම්, යෙදෙන කාරණා සියල්ලක්ම බර තමයි. 

එතකොට ඔන්න එහෙනම් පංච උපාදානස්කන්ධය හැටියට කතා කරන්නෙ මොකක් එක්ක කතා කරනකොට ද? විග්‍රහයක්, කියලා දෙන එකක්, එහෙම නැත්තං සිදුවීමක්, ඊට පස්සේ සිදුවීමක් පිළිබඳව කියන එකක් “මෙසේ” කියලා. සිදුවීමක්, සිදුවන්නක්, සිදුවීමක් පිළිබඳව කියන එකක්. සිදුවන විදිහ කියන එකත් නෙවෙයි. සිදු වන විදිහ කියද්දී පංච උපාදානස්කන්ධය කතා කරන්න බෑ. ඒ කතාකරන එක සක්කාය කියන කාරණාවට අර්ථාන්විත නෑ. ඔබට මම කියපු එක තේරුණා යැයි මම හිතනවා. ඉතින් ඒකනිසා තව දුරටත් මේක පිළිබඳව සිතන්න. 

එතකොට ඔන්න එහෙනම් මොකක්ද භාර කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. මේ මොකක් එක්කද විග්‍රහකරන්නේ?  කෙනෙක් දකින එකක්ද? නෑ. ‘මොකක්ද’ කියන විග්‍රහය. 

ඊළඟට විස්තර කරනවා

කතමො ච භික‍්ඛවෙ භාරහාරො:

බර ඇදගෙන යන්නා කවුද? බර ඇදගෙන යන්නා, බර දරාගෙන යන කෙනා, දැං අහක යන බරක් ඇයි අරගන යන්නෙ? නේද? බර ඇදගෙන යන්නෙ කවුද? ගොන්නු නේද ? එහෙම නේද? කරත්තෙක බැන්දහම බර ඇදගෙන යනවා. මෙන්න බර ඇදගෙන යන කට්ටිය කියනව.

පුග‍්ගලොතිස‍්ස වචනීයං,

අන්න බර ඇදගෙන යන අය තමයි පුද්ගලයා කියල කියන්නෙ.

යො’යං ආයස‍්මා එවන‍්නාමො එවංගොත‍්තො, අයං වුච‍්චති භික‍්ඛවෙ, භාරහාරො.

මෙන්න මොකක්ද එතකොට එයාලට නම් කියනවා. මෙන්න මෙහෙම නම්ගෝත්‍ර, මෙහෙම කෙනෙක් ඇත්ද, අන්න ඒ අය තමයි. කවුද? දැන් නම් වලින් ව්‍යවහාර කරන්නෙ. මම ඔබට නිතර කරල තියෙනවා ජීවිතයේ යථාර්ථ සත්‍යවාදීව කෙනෙක් විමසනවා නම්, මට මං වැදගත් නොවෙන්න ඕන කියලා. නේද? 

දැං මගේ නම අනෝමදස්සි. මට අනෝමදස්සී බවක යෙදීමක සත්‍යත්වයක් තියනවනම්, අන්න අර නම්ගොත් ව්‍යවහාරයෙහි යෙදුණු බව නේද? මට මං ඉන්නව නේද? මට මං නෑ කියලා මට ඉන්නවනම්, ඒත් මට මං ඉන්නව. දැං නම් ගොත් ව්‍යවහාර යෙදුන නේද? අනෝමදස්සී ඉන්නව. අනෝමදස්සී බවක් අනෝමදස්සීට යම් සිදුවීමක් එක්ක යෙදිල තියෙනවා. දැන් මේ බර දරාගෙන යන්නේ. පුද්ගලයෙක් නෙවෙයිද? තමන්ට ආවේණික පුද්ගලත්වයක් නැද්ද? තමන්ට ආවේණික පුද්ගලත්වයක් තියෙනවා. එතකොට මං අර කලින් කිවුවෙ උපමාවක්. බර අරං යන්නේ කවුද කියලා. අන්න ඒ ජාතියෙ කෙනෙක් වෙනවා. ඒ කියන්නෙ ඥානය නෑ කියන එක නේද? ඥානාන්විත නුවණින් යුක්ත වෙනවා නම්, “භාරහාරෝ” කියන කාරණාව අදාළ නැතිවෙනවා. එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න දැන් මෙතනත් මේ විග්‍රහ කරන්නෙ “කතමො ච භික්ඛවෙ භාරහාරො” විග්‍රහයක් කරන්නේ. මොකක්ද මේ බර ඇදගෙන එන කෙනා නැත්නම් බර දරාගෙන ඉන්න කෙනා, එතකොට පුද්ගලයා. එතකොට මේ ව්‍යවහාර කරනවා “යො’යං ආයස‍්මා එවන‍්නාමො එවංගොත‍්තො,” දැන් අපට විවිධ විදියට තියෙන්නෙ, අන්න බර අරන් යන කට්ටිය. 

ඔබ බලන්න ඔබේ ජීවිතයේ තුළ ඔබට මොනවහරි යෙදීමක විග්‍රහයක්  එක්ක අපි තෘප්තිමත් භාවයක් තියෙනවා නම්, තෘප්තිමත් භාවයක් නෑ කිව්වත් අපි යෙදීමක ඉන්නවනම් ඉන්නවම තමයි. අපට ඒ පුද්ගලත්වය තියෙනව නේද? අපට අපේ ව්‍යවහාරිත්වය තියෙනවා නේද? අපි ඒකත් එක්ක ලැගගෙන ඉන්නව නේද? අපට කෝ ඒ කරුණ ඉක්මවන්න ප්‍රතිපදාවක්? කෝ සක්කායදිට්ඨිය ඉක්මවන ප්‍රතිපදාවක්? කෝ මට මම වැදගත් නෑ කියන කාරණාව අර්ථාන්විත වන  ප්‍රතිපදාවක්? එන්නෙ නෑනෙ. කොහෙන් හරි දඟලල මට සෝතාපන්න වන්නට ඕනෙනෙ. කොහෙන් හරි දඟලල මට නිවන් දකින්නට ඕනෙනෙ. ඒ කියන්නේ “බාරහාරෝ” මයි නේද? බර දරාගෙන ම නිවන් දකින්න හොයනව. බර දරාගෙනම සෝතාපන්න වෙන්න හොයනව. සත්‍ය හොයන තැනදි ඔය කරුණු එකක්වත් එන්නෙ නෑ. ඔන්න “බාරහාරෝ”. දැන් ඔබ තනි තනියම ම කල්පනා කරල බලන්න, අපේ නම් ගොත් ව්‍යවහාර එක්ක අපට යෙදීමේ පුද්ගලත්වයක් තියෙනවද නැද්ද කියලා. එහෙම තියෙනවනම් අපිත්, ඒ කියන්නෙ ඤානයක් එන්න ඕනෙ, භාරනික්ඛේපනය වෙන්නෙ නෑ තමයි. නමුත් අපට ඤානයක් එන්න ඕනෙ. 

මම අර කලින් කරපු ඨිති සූත්‍රයේ දී පැහැදිලි කරල පෙන්නුවෙ. අර කුසල ධර්මයන් කෙරෙහි වෘද්ධියක් වෙනව නම් සද්ධා, ශීල, ස්‍රැත, ත්‍යාග, ප්‍රඥ්ඥා, පටිභාන කියන එක කෙලෙස් එක්ක ඉන්නෙ නැතිව අර දැක්ම සිදුවෙනවා. එත්කොට ඒ දැක්මකට යොමු වෙන්න ඕනේ. ඒ දැක්මකට යොමුවෙන්නේ දැක්මක් ඇති බව කියන සක්කායක යෙදීමකට එහෙම නෙමෙයි. දැං අපිට ආයෙ යන්න පුළුවන් දැක්මක් ඇති බව කියන සක්කායක්. දැන් ඒක සක්කායක් නෙමේද ආපහු?. ඒක ආයෙ සක්කායක්. ඒනිසා කොහෙන් ගියත් අහුවෙන දෙයක් තමයි තියෙන්නෙ. 

ගද්දුලබද්ද සූත්‍රයේ තියෙන්නෙ. බල්ලා දම්වැලකින් කණුවක බැන්දහම බල්ලාට එතනින් එහා යන්න තැනක් නෑ. ඒවගේම  තමයි මේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ කියන යමි යෙදීමක සාසවා උපාදානීය බවත් එක්ක කරකැවෙනවා විනා වෙන කරන්න වැඩක් තියෙනවද? නෑ. දැක්මක් ඇති බව කියන සක්කාය යෙදිලා, ඒ බර දරාගෙන ඉන්නවා. ඒක බරක්ද? ප්‍රණීතයි නේද? අපට ප්‍රණීත බවක් හම්බවෙලා. ප්‍රණීත බව යෙදීමක් නෙවෙයිද? ප්‍රණීත බව යෙදීමක්. ප්‍රණීත බවක දැනගැනීමක් යෙදුනෙ නැද්ද? ප්‍රණීත බවක දැනගැනීමක් යෙදුන. ප්‍රණීත බවක දැනගැනීම සාසවා උපාදානීය උනේ නැද්ද? ඒක සක්කාය නෙමේද? ඒක බර නෙවෙයිද? බර. සක්කාය. ඉතින් එහෙනම් බර ඉක්මවෙනව කියන කාරණාව වෙලා නෑනෙ. නැත්නම් බර අයින්වෙනවා කියන කාරණාව වෙලා නෑනේ. එහෙනම් බලන්න අපේ දැක්ම සත්‍යවාදී බවෙන් යුක්තව කොච්චර තීව්‍ර වෙන්නට ඕනෙද? ගොඩාක් තීව්‍ර වෙන්නට ඕනෙ. ඔන්න එහෙනම් බර දරන්නා, බර දරාගන්නා නැත්නම් බර අරගෙන යන්නා කියන්නෙ පුද්ගලයාටයි. වෙන කාටවත් නෙවෙයි. නම්ගොත් ව්‍යවහාර වලින් යුක්ත පුද්ගලයාට. 

ඊලඟට, දැං මේක විග්‍රහයකින් පෙන්නන්නෙ.

කතමඤ‍්ච භික‍්ඛවෙ භාරාදානං:

බර දරා ගැනීම. බර ඇද ගැනීම. දැන් කතමඤ‍්ච කියල පෙන්නන්නෙ, හැබැයි ඒක මොකක්ද කියලා පෙන්වන්නෙ කෙනෙක් අදාළත්වයක් කරන්නේ නැතිව. ඒ කියන්නෙ කලින් බර ඇදගෙන යන්නා කිව්වා. නැත්නම් බර දරා ගන්නා කිව්වා. පුද්ගලයා. දැං බර දරාගැනීම නැත්නම් බර ඇදගැනීම. කොහොමද තියෙන්නෙ?  ඔන්න බලන්න අපි බර ඇද ගැනීම කියන්නෙ බර ඇදගැනීම සිදුවීමක් නේද? මෙන්න මේ සිදුවීම යෙදෙනවා නම්, බර ඇදගැනීම වෙලා. ඔය ඥානය යෙදෙනවනම් අන්න එතෙර වෙන ප්‍රතිපදාවට යනවා. ඔය ඥානය යෙදෙන්නෙ නැත්නම් බර ඇදගැනීම බව, “භාරහාරෝ” බර දරන්නෙක් වෙලා ව්‍යවහාරයේ ජීවත් වෙනවද නැද්ද? බර දරන්නෙක් වෙලා. “අහං නාමෝ” මගෙ නම අනෝමදස්සී, අර තව එක්කෙනෙක්. මේ මොකද්ද මේ වෙන්නේ? අපට අපේ වදගත්කම ඉස්මතු වෙලා. ආ නෑ නෑ එයාගෙ නම එහෙම නෙවෙයි. දැං ඒකත් නමක් නේද? එයාගෙ නම එහෙම නෙවෙයි කියන එකත් නමක් නේද? මට නෑනෙ අනෝමදස්සි කියල එකක්. මගෙ එහෙම එකක් නෑ. මට ඒ බවකුත් නෑ. ඒකත් නමක් නේද? ඒකත් ආයෙ නමක්. සක්කායක් නෙමේද ආපහු? අයෙ සක්කායක්. කොහෙන් කරගෙන ගියත් ඔතෙන්ට කොටු වෙන්නේ නැද්ද?

එහෙනම් හොඳට හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ බාහිරට අනුගතවීම, කල්‍යාණ මිත්‍රයාට දැමීම කියන සර්ව සම්පූර්ණ බව විචක්ෂණයත් එක්ක. ඒ හැර වෙන කිසිදු ප්‍රතිපදාවක් තියෙනවද සක්කාය නිරුද්ධ වෙන්න? කිසිදු ප්‍රතිපදාවන් නෑ. එකම ප්‍රතිපදාව වෙන්නෙ සක්කාය නිරෝධය. නැත්නම් අපි කොහෙන් ගත්තත් සක්කාය කරකැවෙනවා. 

ඔන්න බර දරාගැනීම. නැත්නම් බර ඇදගැනීම. මොකද්ද?

යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී සෙය්‍යථිදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ භාරාදානං.

මොකක්ද යම් මේ තණ්හාවක් තියෙනවද නැවත පැවැත්ම ඇති කරන ඒ ඒ තැන සතුටින් පිළිගන්න, නන්දි රාගය,  ඇලීමෙන් යුක්තව, ඇලීම බව ඒ ඒ තැන සතුටින් පිලිගන්න. කොයි වගේද? කාමය කියන එක, කාම තණ්හා, භව පැවැත්ම, විභව තණ්හා, නොපැවැත්ම. දැන් අපට ඔන්න බලන්න අපි දකිනවනං මේ කාරණාව දැක්මක් හැටියට “භාරදානං” බර දැරීම කියන එක බර ඇදීම ඇද ගැනීම කියන එක කොහොමද සිද්ධ වෙන්නෙ? සතුටින් පිළිගැනීම. මෙය සක්කාය නිරෝධයි කියන බවක් ආවනම්, සතුටින් පිළිගත්තද නැද්ද? දැං අද කතා කරනකොට අද යන්නේ ඕවටනෙ ගොඩක්. දැන් අරවට එපා එපා එපා එපා කිව්වට පස්සේ දැන් මොකද කරන්නේ? සක්කාය නිරෝධය කියන බවක් ගන්නව නේද? ඒ බවක් ගන්නෙ නැද්ද? ඒ බවක් ගන්නවා. සක්කාය නිරෝධ බව සතුටු වෙන්නෙ නැද්ද? සතුටු වෙනවනෙ. ඒ සතුටු භාවයක් එක්ක පැවැත්මක් තියෙනවා නේද? දැං මොකක්ද කරන්නෙ? ඒ කාරණාව එක්ක බර දරාගන බර අල්ලාගන බර අදින්නෙක් වෙලා නේද? බර අදින්නෙක් කියනකොට බර අදින්නා අඤ්ඤාන කමෙන් යුක්ත භාවය. හැබැයි ඔය කාරණාව දකිනකොට දැක්ම ප්‍රඥාවෙන්. දැක්ම ප්‍රඥාවෙන් කියන එක හොඳට තේරුම් ගන්න දැක්ම ප්‍රඥාවෙන් බව ලැබීමක් එහෙම නෙමෙයි. නැත්නම් ආයෙ ඒක ගන්නව. දැක්ම ප්‍රඥාවෙන් බව ලැබිමත් යෙදෙනවා. එතෙන්ට ගිහිල්ලා ගිහින් හරියන්නෙත් නෑ. 

බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ මහා වග්ගයෙහි සච්ච සංයුත්තයේ සූත්‍රයක් තියෙනව ඔබට මතකද? අස්ලෝමයක් සීයකට පලල ඈත එල්ලල එවැනි එකකට විදිනවට වඩා අමාරුයි ආර්‍ය සත්‍ය අවබෝධ කරන්න. සත්‍යද නැද්ද? සත්‍යයි නේද? කොච්චර සූක්ෂමයි ද? කොහෙන් ගියත් “භාරහාර පුග්ගලෝ තිස්ස වචනීයං” කියන කාරණාවෙ ව්‍යවහාරයේ නම්ගොත් එක්ක අපේ යෙදීමක් තියෙනව. දැං කවුද සක්කාය නිරෝධය ඇත්තයි කියලා දැක්කේ? මම නේද? මම නෙවේ ද? දැං මට වැදගත් කමක් නැද්ද? මං හරි හොඳ කෙනෙක්නෙ. ඇයි මට සක්කාය නිරෝධ බවක් හමුවෙලානෙ. මම මේ ලෝකයා වගේ එක එක තැන අල්ලගෙන යන්නේ නෑ. මට සක්කාය නිරෝධයක්. 

දැං මම ඕක කියනකොට කෙනෙකුට අනිත් පැත්ත එච්චර හිතන්නෙ නැති වෙන්න පුළුවන්. අනිත් පැත්තත් එහෙමයි. දැං රාගය එක්ක, ද්වේශය එක්ක ඊළඟට දැඩි භාවය අකීකරු භාවය දැං ඒව කොහොමත් මේ ධර්ම මාර්ගයේදි සුන්නද්දූලි වෙලා යන ඒවනෙ. ඒවට ඉඩක් නැති වෙනවනෙ. ඊට පස්සේ අපි මේ අල්ලගන්න කරුණු තියනවා නේ. අන්න ඒ අල්ලගන්න කරුණු එක්ක අපි ඉන්නව. 

දැං බලන්නකෝ අර උද්දේස විභංග සූත්‍රයේ එහෙම ගත්තහම, “අජ්ඣත්තං අසංටිතං බහිද්දා අවිකිතං” කියනකොට දැන් පළවෙනි ධ්‍යානයේ ඉන්නවා. ඒ බව ලැබිලද? ඉතිං අපිට ලෝකයේ ව්‍යවහාරයෙන් කතාකරන්න බෑනෙ පළවෙනි ධ්‍යානය උපදවාගන වාසය කරද්දි අනිස්සිත විඤ්ඤානයක් කියල. ඒ කියන්නෙ දැනගැනීමක නොවීම පළවෙනි ධ්‍යානය කියල කතාකරන්න පුලුවන්ද කතාකරද්දි? බෑනෙ. දැං එහෙම කතාකලානම් ඒක සක්කායක් නේද? “බහිද්දා වික්කිත්තං” කියනව. රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම මෙන්න මේව මොනව හරි කාරණාවක් එක්ක යෙදුනනම් බහිද්දා වික්ඛිත්තයක්. ධම්ම කියන අරමුණු කියල ගත්තොත් එතකොට ඒ බහිද්ධා වික්ඛිත්තයත් එක්ක ගත්තට පස්සෙ, ඒ කාරණාවක් නැතුව හිතන්නෙ කොහොමද? ලෝකෙට අගෝචරයි නේද ඒක? එතකොට එහෙනම් බලන්න මේ සක්කාය නිරෝධ ප්‍රතිපදාව කියන එක සක්කායකට පොඩ්ඩක්වත් අදාල නෑ කියලා ඒ උද්දේසවිභංග සූත්‍රයේ අර්ථාන්විත බවින් තේරෙන්නෙ නැද්ද? සක්කාය නිරෝධ ප්‍රතිපදාව කියන එක සක්කායට කිසිසේත් අදාල නෑ. සක්කායට අදාලයි නම්, මොනව හරි ගෝචරත්වයක් එක්ක ඉන්න එපැයි. ඒ කියන්නෙ සක්කායකට අදාල නෑ කියන්නේ පුද්ගල ව්‍යවහාරයට අදාළ නෑ. ඒකෙන්ම තියෙනවනේ බාහිර අනුගත්වීමක් කියල. අපේ පන්ඩිතකමක්, අපේ වැටහිච්ච බවක්, අපට ලැබිච්ච බවක් නෑ. එච්චරට යොමුවීම. එතකොට එහෙනම් තණ්හාව තමයි බර ඇදගැනම්, බර දරාගැනීම් වෙන දෙයක් නෙවෙයි. දැං මේක මේ කෝණයෙන් බලන්න. එතකොට හරි ලස්සනයි. දැන් මොකද්ද කියලනෙ විග්‍රහ කරන්නේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ භාරනික‍්ඛෙපනං:

බර නික්මීම. එතනත් කතා කරන්නේ සිදුවීමක්. බර දරා ගැනීම,  බර ඇද ගැනීම, බර නික්මීම. එතකොට බර නික්මීම කියනකොට මොකද වෙන්නේ, නික්මීම තවත් සක්කායක යෙදීමක් එහෙම නෙවෙයි. ඒකියන්නෙ නික්මිච්ච බව ප්‍රණීතයි නේද? නික්මිච්ච බව ප්‍රණීතයි කියන කාරණාව කතා කරන්නේ තව පැත්තකින් තියෙනවා කියන කාරණාවක් එක්ක නේද? නැද්ද? තියන එකෙන්නෙ අයින් වෙන්න ඕනෙ ඇත්තෙ. තියනවා කියන එකත් අයින් වෙනවා කියන එකත් දෙක ගෝචරත්වය ආවෙ තවත් සක්කායකට නෙවෙයිද? තවත් යෙදීමකට. එහෙනම් නික්මීම කියන බවක් යෙදෙන්න බෑ. නික්මීම ස්වභාවය. එතකොට මොකද්ද ඒ විග්‍රහය?

යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො. ඉදං වුච‍්චති භික‍්ඛවෙ භාරනික‍්ඛෙපනන‍්ති.

යම් මේ තණ්හාවක් ඇද්ද, ඒ තණ්හාවේම ඉතුරු නැතිව නිරෝධය, අතහැරීම, දුරින්ම දුරුවීම, ඉක්මවීම, ආලය දුරුවීම එයට කියනවා මොකද්ද? භාර නික්ඛේපනය. දැං අපට ගොඩක් වෙලාවට තියෙන එකත් තියෙනව මේ දෙක කියනකොට මම හැමවෙලාවෙම පැහැදිලි කරනව වෙනම තියන බවත් අනික නැති බවත්. 

දැන් හිතලා බලන්න, අර නාසියස් උපමාව මම කිව්වේ, වතුර ඇතුලෙ ලස්සන කෙනෙක් ඉන්නව කියන කාරණාව නෑ කියලා ගන්න තියෙන්නෙ, ඉන්නවා කියන බවක් එක්කනේද?  පස්සේ කල්පනා කරලා නෑ කියල ගන්න තියෙන්නෙ. හැබැයි එයා ඇත්ත ඒ විදිහටම දැක්කා නම් මේ ප්‍රතිබිම්බයක නිර්මාණයක් කියලා, තිබ්බ, ඉන්න කෙනා නැති වුණා කියල කතාවක් එනවද? නෑ. 

මම තවත් මේක තේරුම් ගන්න කියන්නම්කො. ඔබ මහොෂධ පඬිතුමාගෙ කතා අහල ඇතිනෙ. අර මැණිකක් වතුර යට තියනව කියල හොයන එකක් තියෙන්නෙ. ලිඳ ඉහින්නෙ. එතකොට මැණිකක් තියන බව දැනගෙන මැණිකක් තියෙන බව හිතාගෙන මැණික ගන්න ලිඳ ඉහනව. පොකුණ ඉහිනව. ආයෙ පිරෙනකොට ආයෙ තියෙනව. දැං නෑ කියල ගියේ තිබ්බ කියල ගත්ත එකත් එක්ක නේද? සමුදයයි නිරෝධයයි කියන්නෙ ඕක නෙවෙයි. මහොෂධ පඬිතුමා ඇවිල්ල විස්තරේ කියනව. අර ගහක් උඩ තියෙන එකකින් ඉර එලියෙන් වැටෙන කාරනාවෙන් සිදුවෙන්නෙ. දැං තියෙනව කියල ගන්නවද? නෑ නේද? වතුරෙ මැණිකක් තියෙනව කියල ගන්නවද? නෑ. නෑ කියල ගන්නවද? ඒත් නෑ. තියෙනව කියල ගත්තොත් නේද නෑ කියල ගැනීමක් අදාල වෙන්නෙ. එහෙම නෙවෙයිද? ඉතිං තියෙනව කියල ගත්තෙ නැත්නම් නෑ කියල ගැනීමක් වෙන්නෙ කොහොමද? හැබැයි නෑ කියල ගැනීමක් වෙන්නෙ නැත්තෙ පෙනීමක් තියෙනව. යෙදීමක පෙනීමක් තියෙනව. පෙනීම තියෙනව කියල ගැනීමක් නෑ. ඒ නිසා නෑ කියල ගැනීමක් නෑ. ඇයි තවත් වතුරෙ තියෙනවනෙ අර මැනික තියෙන බව, වතුර පිරුනට පස්සෙ. හැබැයි තියෙනව කියල ගැනීමක් නෑ ඇත්ත දැක්කට පස්සෙ. 

මෙන්න මේ වගේ තමයි පින්වතුනි සත්‍ය දැකීම. ඉතිං මේ සත්‍ය දැකීම කියන එක තවත් අපේ පුද්ගලත්වය කියන භාවයක් එක්ක නෑ කියන භාවයක විග්‍රහයක් එහෙම නෙවෙයි. ටිකක් ගැඹුරුයි. හොඳට හිතන්න. නැවත නැවත මේ දේශනාව අහන්න. එතකොට මෙන්න මේක තමයි තණ්හාව දුරුකිරීම. බර නික්ඛේපනය කිරීම. බර දරාගන ඉන්නව නම්, ඉන්න කෙනෙක් ව්‍යවහාරයක් එක්ක ඉන්නවනම් එයාල පුද්ගලයො. පුද්ගලයො කතාකරනකොට ප්‍රතිපදාවක් නෙවෙයි. ප්‍රතිපදාවක් කතාකරනකොට බර දරාගැනීම. බර නික්ඛේපනය කිරීම. දරාගැනීමයි. 

දැං අපිට හිතෙනව දරාගැනීම තියෙනව. තියෙන නිසා පුද්ගලයෙන් ඉන්නව. නෑ. නෑ. නෑ. දරාගැනීම කියන ස්වභාවය ධර්ම අර්ථාන්විත භාවය සිදුනොවීම නිසා බර දරාගන ඉන්නව කෙනෙක්. එයාට බර දරාගන ඉන්න බවකුත් නෑ. කවුද බරයි නම් අයින් කරන්නෙ නැතිව ඉන්නෙ? කවුරුහරි ඉන්නවද බරයි නම් ඉයින් නොකරන? නෑ ඔක්කොම අයින් කරනව. බර දෙයක් බරයි කියල දන්නෙ නැතිව ඉන්න කෙනා, මෝඩකම නේද? මෝඩකම. 

දැං ඉතිං මේ ටිකේ පැහැදිලි කලේ බුදුරජාණන්වහන්සේ මාතෘකා කලා බර කියන්නෙ මොකද්ද කියල, බරයි, බර දරාගැනීම , බර ඇදගෙන යන්නායි, බර ඇදගන යාමයි බර නික්මීමයි කියන කරුණු. දැං ඒ කාරණා විග්‍රහ වශයෙන් වෙන් වෙන් වශයෙන් පැහැදිලි කලා. එහෙම පැහැදිලිකරල ඉවරකරල බුදුරජාණන්වහන්සේ දේශනා කරනව:

ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

දැං අර විදිහට භික්ෂූන් වහන්ස්වෙලාට වෙන් වෙන් කරුණු ටික කිව්ව. මෙහෙම කියල ඉවරවෙලා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ගාථා ටිකක්, තවත් වූ ගාථා ටිකක් වදාලා. දැං දේශනාව කරල ඉවරයි, කරුණු විග්‍රහ කරලා ඉවරයි. දැං ඔබ දැකල ඇති උදාන පාලියෙ එහෙමත් සමහර අවස්ථාවල ඒක කෙලින්ම උදානයක් හැටියටම නිකුත් වෙන එකක් තියෙනව. එතකොට ඒ ඒ කාරණා තුලම සාරගර්භවම ධර්මය තියෙනව. දැං බුදුරජාණන්වහන්සේ මේ කතා කරන්නෙත් ලෝකයේ ඉන්න අයට, ඉන්න පිරිසට විග්‍රහයක් හැටියට දහම් කරුණු ටිකක් කිව්ව. විග්‍රහයක් හැටියට, වෙන් වශයෙන්. “කථමෝච” කියල. 

ඊටපස්සෙ බුදුරජාණන්වහන්සේ නැවත වතාවක් මෙහෙමත් එකක් කියනව. දැං අර විග්‍රහය කලානෙ. දැං විග්‍රහයෙ අවශ්‍යතාවයක් නෑ. දැං බුදුරජාණන්වහන්සේ සිද්ධිය කියනව. සිද්ධිය කියන්නෙ කාටද? ඒත් ඉන්න අයට. දැං සිද්ධිය කියද්දී, සිද්ධිය කියන්නෙ බුදුරජාණන්වහන්සේ නේද? සිද්ධිය සේඛයෙක් කීවත්, රහතන් වහන්සේ නමක් කීවත් සිද්ධිය කියද්දි කරුණ විග්‍රහ කරද්දි නෙවෙයි සිද්ධිය කියද්දි, ඒ සිද්ධියෙදි, දැං බුදුරජාණන්වහන්සේට මේ යෙදීම නෑ. රහතන්වහන්සේලාට ඒ කතාව නෑ, හැබැයි ලෝකයේ ඉන්නවනෙ, ලෝකයේ ඉද්දි සිද්ධිය කියනකොට ඒ සිද්ධියෙදී එයාට ආශ්‍රව උපාදානීය කියන කාරණාවක් එක්ක සිද්ධියක් කතාකරන්න පුලුවන්ද? බෑ. ඒක වෙනම කාරණාවක්නෙ එහෙනම්. 

දැං, අපි ගත්තොත් අනත්තලක්ඛන සූත්‍රය එහෙම, ඛජ්ජනීය සූත්‍රය එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කතාකරල ඉවරවෙලා සිද්ධිය කියනවා මේ විදිහට, අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත දුර ලඟ ගොරෝසු සියුම් වූ රූපය මේ විදිහට දකින්න කියල. දැං එතන සාසවා උපාදානීය කතාව කියන්නෙ නෑ. සාසවා උපාදානීය කතාව කියන්නෙ නැති උනොත් අනිවාර්‍යයෙන්ම එතෙර වීමක් වෙන්න ඕනෙ. හැබැයි මේ කතාකරන්නෙ මොකක් එක්කද? මේ කතාකරල පෙන්නන්නෙ මෙකරුණුම මේ කාරණා ටිකම සිද්ධියක් හැටියට කියනව. “කථමෝච” කියල විග්‍රහ කරන්නෙ නෑ ගාථා ටිකකින්.

1. භාරා හවෙ පඤ‍්චක‍්ඛන්‍ධා භාරහාරො ච පුග‍්ගලො,

භාරාදානං දුඛං ලොකෙ භාරනික‍්ඛෙපනං සුඛං.

2. නික‍්ඛිපිත්‍වා ගරුං භාරං අඤ‍්ඤං භාරං අනාදිය,

සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ නිච‍්ඡාතො පරිනිබ‍්බුතො.

“භාරා හවෙ පඤ‍්චක‍්ඛන්‍ධා” ඒකාන්තයෙන්ම පංචක්ඛන්ධ බරක්. දැං කලින් විග්‍රහකලේ ඒකාන්තයෙන්ම පංචක්ඛන්ධ බරක් නෙවෙයි බර කියන්නෙ මොකද්ද කියල. දැං ඒකාන්තයෙන්ම මේ කාරණා මෙහෙමයි කියන්නෙ සිද්ධියක් එක්කද විග්‍රහයක් එක්කද? සිද්ධියක් එක්ක නෙ. විග්‍රහයක් එක්ක නෙවෙයි සිද්ධියක්. “කතමෝච” කියනකොට විග්‍රහයක්. එතකොට මේ ඒකාන්තයෙන්ම පංචක්ඛන්ධ බරක්. 

දැං මේක කියන්නෙ බුදුරජාණන්වහන්සේනෙ. ලෝකයේ අයට කියන්නෙ. සිදුවීම අර්ථාන්විතව ප්‍රතිපදාව කියනව නෙවෙයි, බර කියන කාරණාවෙ අර්ථාන්විත භාවය, සිදුවීමක් හැටියට කියනව. 

අන්න මම ඔබට මුලින් පැහැදිලි කලේ. අනත්තලක්ඛණ සූත්‍රයේ අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහකරල ඉවරවෙලා කියනව අතීත අනාගත ආදී කරුණු ටිකත් එක්ක ඔහොම වෙන්නෙ කියල. දැං එහෙම වෙනකොට, දැකීමෙන් යුක්ත භාවයෙන් එහෙම දකින්න කියනව. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පංච උපාදානස්කන්ධ කියන්නෙ නැතිව ඒකාන්තයෙන්ම පංචස්කන්ධ බව. ඔය කියපු කියමන හොඳට තේරුම් ගන්න බලන්න. අතීත අනාගත වර්තමාන කියන මෙන්න මේ යෙදීමක් එක්ක අර ඥානයකින් යුක්ත කෙනෙක් දැකීමක විග්‍රහයක් පැහැදිලි කිරීම. සත්‍ය සිදුවීම පැහැදිලි කිරීම. අතන “කථමෝච” කියල විග්‍රහ කළා මෙතන සිදුවීම පැහැදිලි කරනව. නැවත වතාවක් බුදුරජාණන්වහන්සේ දැං අර විග්‍රහය කරල ඉවරනේ.  ආයෙ කියන්න ඕනෙ නෑනෙ. ඒක මේ සිද්ධිය හැටියට පැහැදිලි කරනවා. 

ඒවගේම “භාරහාරො ච පුග‍්ගලො” බර අරගෙන යන්නා  පුද්ගලයා. දැං මේ ලෝකයට කියන්නේ. 

“භාරාදානං දුඛං ලොකෙ” බර දරා ගැනීම ලෝකයේ දුකක්. දැං කලින් කිව්වා බර දරා ගන්නා, පුද්ගලයා බර ඇදගෙන යන්නා, පුද්ගලයා. බර දරාගැනීම දුකක්. දුක්ඛ සමුදය “යායං තණ්හා පෝනෝභවිකා” නේ. එතකොට දුක, සක්කාය. දැං බර දරා ගැනීම දුකක්. දැං බලන්න, දුකක් කියන විග්‍රහය දුක් විඳීම නෙවෙයි ඈ. හොඳට තේරුම් ගන්න. දුක් විඳීමක් නෙමෙයි. දැන් අපට විඳීමක් බව කතා වෙනවා නම් ඒ කාරණාවක අපි යෙදිලා. සක්කායක් කතාකරන්න තියෙන්නෙ. සක්කායක් කතා කරනවා නම් එතන අර්ථයක් කතා කරන්න, ඒ කියන්නෙ දැක්මක් කතාකරන්න බෑ. සක්කායක් දැක්මක් කතා කරන්න බෑනෙ. කෙනෙක් හැටියට කරන එකේදි. සක්කාය ඥානයක්. ඥානයක් කියන කාරණාව කෙනෙක් එක්ක කතාව නෙවෙයි. ඒක ප්‍රතිපදාවක්. හැබැයි කෙනෙක් එක්ක කතා කරනකොට රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤානයක්. ප්‍රතිපදාවක් එක්ක කතා කරනකොට දැක්මක් එක්ක කතා කරනකොට අන්න කතාකරන්න පුළුවන් සක්කාය කියන කතාවෙන් නැතුව රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංඛාරස්කන්ධ විඤ්ඤාණස්කන්ධ. ඒ කතාවෙන් කතාකරන්න පුලුවන්. එතකොට ඒ ස්වභාවයත් එක්ක දකිනකොට බර දරා ගැනීම දුකක්. මේ දැන් දැක්මක විග්‍රහයක් නේද? දැක්මක් කියන්නේ ප්‍රතිපදාව කියන එක නෙමෙයි. කෙනෙක් මේ විග්‍රහය කතා කරනවා. බර දරාගැනීම ලෝකයේ දුකක්. දුකක් කියන්නෙ දුක් විඳීමක් නෙවෙයි. දුකක කෘත්‍යය නොපිහිටන බව. එහෙනම් බර බවත් බර දරණ පුද්ගලයා බවත් මේ සිදුවීම දකිනකොට මොකද වෙන්නේ? දුකක් කියන විග්‍රහය. 

අර වජිරා සූත්‍රයේ කතා කරන්නේ. දුකක්මයි උපදින්නෙ දුකක්මයි පවතින්නේ දුකක්මයි නැතිවන්නෙ. දුකෙන් හැර වෙන දෙයක් උපද නැති වෙන්නේ නෑ. දුක කිව්වෙ විඳවන බවට නෙමෙයි. දුක කියන කාරණාවෙ අර්ථාන්විත බවට. දැක්ම සිදුවෙද්දී ලැගගැනීමක් වෙනවද? නෑ. ඒකයි දුකත් එක්ක අප්පණිහිත සමාධියට ඉඩ තියෙන්නේ. පිහිටීමක් නොවන සමාධිය අප්පණිහිත සමාධිය. අනිමිත්ත අප්පණිහිත ශුන්‍යත කියන සමාධි තුන තියෙන්නේ.

“භාරනික‍්ඛෙපනං සුඛං.” භාර නික්මීම සැපයක්. සැප විඳීමක් ද? නෑ සැපයක්. අපට ප්‍රණීත බවක වින්දනයක් ආවොත් එතන සක්කායක යෙදීමක් නේ.  දැං මෙතන කියන්නේ, ප්‍රණීත බවක් සැප බව වින්දනයක් කතාව නෙමෙයි. එහෙනම් විඳීම විග්‍රහය කතාව නෙවෙයි. සැපක්. සැප කියන අර්ථකථනය අපි කතාකරන්නෙ අවේදයිත සුඛය. 

ඊළඟට අර රාහොගත සූත්‍රයෙදි පැහැදිලි කරනවනෙ සංඛාර කියන කාරණාවත් එක්ක. මෙන්න මේ අර්ථාන්විත භාවය ඉක්මවීම, අනිච්ච දුක්ක අනාත්ම දැකීම, අන්න භාර නික්ඛේපන සුඛය. ගොඩක් ගැඹුරුයි. මේ දැක්මත් එක්ක මේ කරුණු කතා කරන්නෙ. “නික‍්ඛිපිත්‍වා ගරුං භාරං” අන්න ගරුබර ගුරුබර වෙන බරවල් නෑ ඒක තමයි ප්‍රධානම බර. මොකක්ද? අර පැහැදිලි කරපු දැන් දැක්කොත් දකින තැන දි පැහැදිලි කළොත් දැකීමේ විග්‍රහයේදී, ස්කන්ධත් එක්ක, හැබැයි අර්ථකථන “කථමෝච” කියල විග්‍රහ කරනකොට පංච උපාදානස්කන්ධ විග්‍රහය අන්න මේ ගරු බර බහා තබලා.

“අඤ‍්ඤං භාරං අනාදිය” වෙනත් බරකට ඇදිලා යන්නේ නැතුව. වෙන බරක්, අන්න  සිදුවීම් මේක ඇත්තම ඇදිල යනවනං ගුරුබරම තමයි තියෙන්නේ නේද? වෙන බරක් නෙමේනෙ. ආයෙ සක්කායක්මනෙ. එතකොට වෙන බරකට ඇදිලා යන්නේ නැත්නම්, එතකොට අනුගතවීම, කල්‍යාණ මිත්‍රයාට නැමීම, සිදුවීම නිවීම. එතනින් එහා දෙයක් වෙනවද? නෑ සිදුවීම නිවීම. 

දැන් සත්‍යවාදී වෙනවා නම් දඟලන දැඟලිල්ලක් තියෙනවද? සත්‍ය ජීවිතය හොයමින් යොමුවෙනවා. “සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ නිච‍්ඡාතො පරිනිබ‍්බුතො”. මේ තණ්හාව මුලින්ම උදුරලා දාලා “යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො” මොනවද ඒ? පැවැත්ම කියන මොනවා හරි විග්‍රහයක් එන්නේ මේක සම්පූර්ණයෙන්ම උදුරල දාලා “නිච‍්ඡාතො පරිනිබ‍්බුතො” නිච්ඡාව නැතුව නැත්නම් තෘෂ්ණාව නැතිව පිරිනිවෙනවා. නිවෙනව. සත්‍යවාදී වෙන තැනදි, යථාර්ථය හොයනකොට සක්කායක ගරු බරක ගුරු බරක යෙදෙන්නෙ නැතිව අනුගත වීමක් සිදුවීමේ දී ප්‍රතිපදාවෙහි කෘත්‍ය සක්කාය නිරෝධය නිවීම. “නිච‍්ඡාතො පරිනිබ‍්බුතො” සම්පූර්ණයෙන් තණ්හාව ඉක්මවනවා. 

බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව. කොච්චර සුන්දරද මේ ධර්මය. මේ භාර සූත්‍රය මේ පැහැදිලි කරපු කරුණු ගොඩක් ගැඹුරුයි. නැවත නැවත හිතන්න. අපි මේ කාරණා කිසි දෙයක් එක්ක කොටු වෙන්නේ නැතිව ජීවිතයෙහි යෙදෙන යෙදීම් එක්ක සත්‍ය හොයන්න පෙළඹෙන්න. එහෙම වුණොත් විතරයි පින්වතුනි මේ ධර්මය ප්‍රණීත සුන්දර. හැබැයි ප්‍රණීත බවක් විඳීම නෙවෙයි. සුන්දර බවක් විඳීම නෙවෙයි. එතෙර වීම. ප්‍රතිපදාත්මකවම එතෙර වීම. සක්කාය ඉක්මවීම. හැබැයි අපි ලෝකේ ඉද්දි ඒවා භුක්ති විදිනවා. නැත්තෙ නෑ. එහෙම භුක්ති විඳින්නේ හැබැයි ලැගගන්න බවක ඉඳීමක් එක්ක නෙවෙයි. සක්කාය කෝණයක අර්ථකථනයක් නොවීමක් එක්ක. සත්‍යවාදී බවත් එක්ක අන්න දහමට යොමු වීම. 

ඉතිං බලන්න මෙන්න මේ බර ඔබට බරක් ද? බරක් කියලා බරක් හම්බ වෙලා. ඒ බර අයින් වෙච්ච බවකුත් හම්බ උනා නම් ඔබට තාම බර ඥානය කියන කාරණාව නෑ. ඇයි ඒ? මේ පුද්ගලයාට කියන්නෙ. “යො’යං ආයස‍්මා එවන‍්නාමො එවංගොත‍්තො, අයං වුච‍්චති භික‍්ඛවෙ, භාරහාරො.” අපිට වෙන් වෙන් වශයෙන් ව්‍යවහාර ටිකක් ඇවිදිල්ලා මේ වෙනම ඉන්නවනෙ. ඉතිං ශෝක් නෙ. දැන් අපි සක්කාය නිරෝධලු. බර නිරුද්ධ කරපු අයලු. හැබැයි අපට එහෙම්මම ව්‍යවහාරයත් එක්ක යෙදිල. එහෙනම් එහෙම වෙන්න බෑනේ. ඒ නිසා හොඳට හිතන්න. කල්පනා කරන්න. සත්‍යවාදී වෙන්න. මේ ලෝකයේ පහල වෙච්ච අසාමාන්‍ය උත්තමයා පෙන්වන සත්‍යය හෑල්ලුවට ලක් කරන්න එපා.