පූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමීන්වහන්සේ විසින් සිදුකල මහාකච‍්චාන භද‍්දෙකරත‍්ත සූත්‍රය ධර්ම දේශනාව

2022-07-06

ධර්ම දේශනාව Youtube

අතීතං නාන‍්වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං,
යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං
.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති,
අසංහීරං අසඞ‍්කුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ.

අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ,
න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

එවං විහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං,
තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, 

අද දවසේදී ඔබ මේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. මගේ ශිෂ්‍ය මාතලේ අමිත්තදස්සිගේ වසර 8 ක පැවිදි දිවිය මුල් කරගෙන අද දවසේ දී මේ උතුම් බුද්ධ වචනය අපි ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ.

පින්වතුනි, බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වල දෙන ඒ උතුම් සත්‍ය ධර්මය ඉගෙනගන්නට අප තුල අසාමාන්‍ය හැකියාවක්, අසාමාන්‍ය ගුණවත් බවක්, අසාමාන්‍ය දක්ෂතාවයක් අවශ්‍ය බව අපි ඔබට නිරන්තරයෙන් ම පැහැදිලි කරලා තියෙනව. ඒ විදිහට ගුණවත් භාවයෙන් යුක්තව, සිතීමේ හැකියාවෙන් යුක්තව යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුණොත්, ඒ ඇහෙන පිරිස අතර තියෙන චින්තන ස්වභාවය සියළුම අය ඒ විදිහනම් එකම ස්වභාවයක්නෙ. ඔන්න ඕක තමයි දිට්ඨි සාමාන්‍යාගත භාවය කියන්නෙ. ගුණවත් භාවයක් සහිතව දැන් අනිවාර්යෙන් හිතන කෙනෙක් නම් ගුණවත්. එතකොට සිතන ගතියයි ගුණවත් භාවය යි මේ සියල්ලක්ම සහිතව යම් පිරිසක් එක්ක එකට වාසය කරනකොට ඒ සියලු දෙනාගේම අදහස් හිතන විදිය, දකින විදිය එකම දෙයක්. ඒ තමයි සක්කාය නිරෝධ වන විදිහට ප්‍රතිපදාවක් තියෙනව. බුදුරජාණන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා නේ බලසංගහවත්ථු සූත්‍රයේදී සෝතාපන්න සෝතාපන්න අය සමානයි. සකදාගාමී සකදාගාමී අය සමානයි. ඒක තමයි සමානාත්මතාවය. ඒ වගේ තමයි යම්කිසි කෙනෙකුට පිරිසකගේ එකම ඉලක්කයක්, එකම අදහසක්, එකම විදිහක් තියෙනවා නම් එතනදි අර ගෝසිංග සූත්‍රයේදී පැහැදිලි කරල තියෙනවා වගේ හරියට දියයි කිරියි වෙන් කරන්න බෑ වගේ එකම පැවැත්මක් තියෙන්නෙ.

ඉතින් මෙන්න මේ විදිහේ සුන්දර ජීවිත පැවැත්මක් තමයි බුදුරජාණන්වහන්සේගේ සාසනය කෙරෙහි නිවැරදිව යොමු යොමුවීම තුළින් ඇති වෙන්නෙ. කවදාකවත් ආධ්‍යාත්මය තුළ තමා තහවුරු වෙන විදිහට සක්කාය දිට්ඨිය තහවුරු වෙන විදිහට සක්කායක පැවැත්මක් ම ස්ථාපිත කරගන්න විදිහට ජීවිතේ හිතන වැඩපිළිවෙළක් යෙදෙන්නේ නෑ. කා තුළද? සත්පුරුෂ ගුණවත් හිතන කෙනා තුල. එතකොට එවැනි අයගේ ජීවිතයේ තියෙන ඒ සුන්දරත්වය එක්ක, ඔබට මතක ඇති සමහරවිට ධම්මචේතිය සූත්‍රය කතාකරනකොට විශාල භික්ෂු සංඝයා පිරිසක් සිටින ඒ තැනකට කොසොල් රජ්ජුරුවො යනකොට හරිම නිස්සද්දයි. ඒ වගේම තමයි කිසිදු වාද විවාදයක් නෑ. අනිත් කෙනෙකුට තව කෙනෙකු බාධාවක් කරන්නේ නෑ. ඇයි එහෙම වෙන්නෙ? අර විදිහෙ ගුණවත් භාවය නිසා. එහෙම නැත්නම් පින්වතුනි, සත්පුරුෂ භාවයත්, හිතන ගතියත් යෙදුනේ නැතිනම්, අපි හැමවෙලේම කරන දේ තමයි අපි හරියි කියලා, අපි හොඳයි කියල ගන්න කාරණාව ඔස්සේ බාහිර හැමවෙලේම වැරැද්දක් අඩුපාඩුවක් දකින එක අපේ කෝණයට ගැලපෙන කොට ඒ හා එකතු වෙන එක. ඒකට ඇලිලා යන එක. මෙන්න මේක තමයි ස්වභාවය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ස්වභාවයට නැත්නම් ශ්‍රාවකත්වය කියන කාරණාවට යොමුවෙද්දි ඒ සියල්ලක්ම ඉක්මවෙනවා. ඒ ජීවිත පැවැත්ම හරිම සුන්දරයි.

එක අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිදිල්ල බුදුරජාණන්වහන්සේ ගෙන් අහනව එක වේලක් වළඳලා කැලයට වෙලා ඉන්න මේ භික්ෂූන් මෙච්චර ලස්සන ඇයි කියල. එතනදි පැහැදිලි කරනවා

අතීතං නානුසොචන‍්ති නප‍්පජප‍්පන‍්ති’නාගතං

පච‍්චුප‍්පන‍්නෙන යාපෙන‍්ති තෙන වණ‍්ණො පසීදති” (අරඤ්ඤ සූත්‍රය -සංයුත්ත නිකාය)

අතීතය අනුව ශෝක කරන්නෙ නෑ. අනාගතයේ පැතිල්ලක් නෑ. වර්තමානයේ, පච්චුප්පන්නයේ යැපෙනවා. ඒ නිසයි මේ විදියට ලස්සන, ප්‍රසන්න වෙලා ඉන්නේ.

එතකොට බලන්නකො ඉලක්කයක්, අපේක්ෂාවක් ඒ කිසිදු දෙයක් නැතිව ජීවිතයේ යථාර්ථයක් හොයන තැනදී, සක්කායකට ඉඩක් නොවෙන විදිහට තමන්ගෙ චින්තනයත් තියෙද්දි ඒ කෙනාගේ ජීවිතය කොච්චර සුන්දරයිද? කොච්චර ලස්සනයිද? 

ඒක නිසා පින්වතුනි, මෙන්න මේ සුන්දර ප්‍රතිපදාවක් සහිත ධර්මය තුළ පෙන්වන දැක්ම, පෙන්වන ප්‍රතිපදාව අපි නිවැරදිව ඉගෙන ගන්න ඕනෙ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවසානය තමයි කේවලිත්වය. කේවලිත්වය කියලා කියන්නේ තනි බව. තනි බව කියනකොට තනි බවක් තව එකකින් මනිනවා නම් එතන තනි බවක් යෙදෙන්නේ නෑ. අපි ඒක කලින් පැහැදිලි කරලා පෙන්නුවා සාකච්ඡා ආදිය මාර්ගයෙන්. කේවලී නැත්නම් තථා ස්වභාවය කියනකොට, තනි බවක්, හුදකලා බවක් කතාවෙනව. හැබැයි හුදකලා බවක් කියල මැන්නනම් එතන හුදකලාත්වයක් නෑ. කේවලිත්වයේ නිර්වචනයම කේවලිත්බවක් නොලැබෙන එක. එතෙරවීම. දැන් අපි ගොඩක් වෙලාවට හුදකලාව කියන කාරණාව අපි දකින්නෙ, ඒ කියන්නෙ අපි දකින්නෙ ඇඟෙන් හුදකලා වෙන එක. අපි දකින්නේ සිතුවිලිවලින් හුදකලාවෙන එක. අද අපි දකින්නෙ නෑ සක්කායෙන් හුදකලා වෙනඑක. සක්කායෙන් හුදෙකලා වුණා නම්, සක්කාය නිරෝධ උනානම්, ඒ හුදකලා බවක් ලැබෙන්නේ නෑ. ආධ්‍යාත්මය හුදකලායි. හුදකලා බවක් කියලා එකක් ලැබෙන්නේ නෑ. එතකොට ආධ්‍යාත්මය හුදකලා නම්, ඒ හුදෙකලා බවක් කියලා මැනෙන්නේ නැත්නම්, ඒ ජීවිතයේ සුන්දරත්වය කොච්චරද කියල  හිතාගන්න පුලුවන්ද? අසාමාන්‍ය සුන්දරත්වයක් තියෙන්නෙ. ඒ විදිහට නිතර වාසය කරනවා නම්, ඒ හුදකලාව තුළ, එයා අනිවාර්යෙන්ම ශාන්ත මුනිවරයෙක්. ඉතින් මෙන්න මේක තමයි සැබෑම සාසනයේ සුන්දර හුදකලාව කියන්නෙ. මේ සුන්දර හුදෙකලාවට යොමු වෙන්න බැහැ තම තමන්ට ආවේණික වූ දේවල්වල කොටුවෙලා. තම තමන්ට ආවේණික වූ දේවල් වල කොටු වෙච්ච තැනදි හුදකලාත්වයක් නෙමෙයි තියෙන්නෙ, තමන්ට දාස වෙලා තියෙන්නෙ. තමන්ට දාස වීම, ඒ කියන්නෙ තමන් ඉඳීම, ඉඳින බව ලැබීම, තමන් ඉන්නව, ඉන්න බවක් ලැබෙනවා, හුදකලාත්වයක් නැහැ, තමන්ට දාස වෙලා ජීවත් වෙනවා. සැබෑම හුදෙකලාවේ වාසය කරන තැනදි, අනිවාර්යෙන් තමන්ගෙන් ඉක්මවීමක් තියෙන්න ඕනෙ. තමා බව තමන්ට වැදගත් නොවන බවත් තියෙන්න ඕනෙ. ඒක ප්‍රායෝගිකව ජීවිතයේ නිරන්තරයෙන් තියෙන්නට ඕනෙ.

අපි අද ගොඩක් වෙලාවට ධර්මය අහන අය හුරුවෙලා තියෙනවා පැත්තකට ගිහිල්ලා බනක් අහන, ධර්ම සාකච්ඡාවක් කරන, භාවනා කරන අවස්ථාව අපි හුදකලයි කියල. එය ඇත්තටම ඇඟෙනුයි හුදකලා. ඒ ඇඟෙන් හුදකලාව අපි විපරීත පරිසරයක ඉද්දි අවශ්‍යතාවය තියෙනව. විපරීත පරිසරයක ඉද්දි මොකද අපට බාහිර ප්‍රශ්න වැඩියි. හැබැයි එකම අදහසක් තියෙන, සත්පුරිස, සිතන ගතියෙන් යුක්ත පිරිසක් එක්ක ඉන්නකොට විපරීත අදහස් නෑනේද? විපරීත අදහස් නැති තැනදි  විපරීත අය ඇසුරු කරන්නෙ නැති තැනදි, ඇඟේ හුදකලත්වය ප්‍රධාන වෙන්නේ නෑ. එතකොට සැබෑම හුදෙකලත්වය අර සුන්දර ඇසුරත් එක්කම අපි සක්කාය නිරෝධය කියන පැත්තටම යොමු කරල තියෙනව. එහෙනම් ඒ ඇසුර තුළිනුත්  සිදුවෙන්නේ ඒකනේද? එහෙනම් පින්වතුනි අර ඇඟ හුදකලා කිරීම කියන කාරණාව එතෙන්ට අදාල වෙන්නේ නෑ. 

මම ඔබට අද පැහැදිලි කරල දෙන්නේ ඒ සුන්දර හුදකලාවේ ඇලෙන ආකාරය. 

ඒකියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සත්පුරුෂ ගුණවත් බවින් යුක්ත, හිතන කෙනෙක් යොමුවෙච්ච තැනදි එයාගෙ ජීවිතේ තිබිය යුතු දැක්මත් එක්ක නිවැරදි හුදෙකලාව කුමක්ද කියන කාරණාව ඔබට මම භද්දේකරත්ත සූත්‍රයක් ඇසුරුකරගෙන පැහැදිළි කරන්නම්. භද්දේකරත්ත සූත්‍ර 4 ක් තියනවා මජ්ඣිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේ තුළ. ඒකෙන් මම ඔබට පැහැදිලි කරල පෙන්වන්නෙ මේ ශාසනයේ යමක් කෙටියෙන් විග්‍රහ කල තැනදි විස්තර වශයෙන් විග්‍රහ කරන්න පුලුවන් අග්‍රම උත්තමයන් වහන්සේ පැහැදිළි කරල දෙන ධර්ම පරියාය. ඒ තමයි මහාකච්චාන භද්දේකරත්ත සූත්‍ර දේශනාව. මහාකච්චාන උත්තමයන් වහන්සේ තමයි මේ ශාසනයේ කෙටියෙන් කියපු කාරණාවක් විස්තර විභාග වශයෙන් පැහැදිලි කරලා දෙන්න අග්‍රම උත්තමයා. ඉතින් ඒ නිසා අපි බලමු ඒ සූත්‍ර දේශනාවේ ඒ සැබෑම හුදකලාව කියන්නේ මොකද්ද කියලා.

සැබෑම හුදෙකලාව පිළිබඳව පින්වතුනි, සියලු දෙනාම අපේක්ෂාවෙන් ඉඳලා තියෙනවා. ඒ කියන්නෙ දැන් අපි ගත්තොත් විමුක්තිකාමී සමාජය තුළ, සියල්ලන්ගෙන්ම වෙන්වෙලා යනවනෙ. සැබෑම පැවිද්ද කියන වචනයේ තේරුමත් “පබ්බජ්ජා” කියන්නේ දුරු කරලා දානවා කියන එකනෙ. එතකොට එහෙනම් යොමුවෙන ස්වභාවය තමයි හුදෙකලාව. එතකොට සියලුම දෙනා ඒ සුන්දර හුදකලාවක ඇලෙන්න, සුන්දර හුදකලාවකට යොමුවෙන්න ඒ සමාජය තුළම කැමැත්තක් තිබිල තියෙනව විමුක්තිකාමී සමාජය තුළ. හැබැයි සැබෑම සුන්දර හුදකලාව මොකද්ද කියන කාරණාව දැනගෙන හිටියේ නෑ. නමුත් බොහෝ පිරිසක් ඒ කාරණාවට යොමුවෙලා තියෙනවා. 

මෙතනත් මේ නිධානය තියෙන්නේ දෙවි කෙනෙක් සමිද්ධි ස්වාමින් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් එක්ක. 

එවං මෙ සුතං වශයෙන් ආනන්ද මහා රහතන් වහන්සේ පළවෙනි ධර්ම සංඝායනාවේදී මේ උතුම් බුදු වදන ඉදිරිපත් කරනව. “එකං සමයං භගවා රාජගහෙ විහරති තපොදාරාමෙ.” ඒ කාලෙ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුණේ රජගහ නුවර තපෝදාරාමයේ. “අථ ඛො ආයස‍්මා සමිද‍්ධි රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය යෙන තපොදො තෙනුපසඞ‍්කමි ගත‍්තානි පරිසිඤ‍්චිතුං” සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ උදේ පාන්දර නැගිටලා අතපය හෝදාගන්න තපෝදා නදියට වැඩම කරන්නේ යෙදුනා. “තපොදෙ ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා එකචීවරො අට‍්ඨාසි ගත‍්තානි පුබ‍්බාපයමානො.” අතපය හොඳට හෝදලා අඳනය ඇඳගෙන ඒ තෙත වේලෙනකන් ගඟ ළඟ වැඩ සිටියා. ඒ අවස්ථාවේදී “අථ ඛො අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං තපොදං ඔභාසෙත්‍වා යෙනායස‍්මා සමිද‍්ධි, තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි.” එක්තරා දෙවිකෙනෙක් මේ තපෝදා නදිය බබුලුවාගෙන ඇවිදිල්ල සමිද්ධි ස්වාමින්වහන්සේ ලඟ පැත්තකින් සිටියා. 

පැත්තකින් හිටපු මේ දෙවියා සමිද්ධි ස්වාමීන්වහන්සේට මෙන්න මේවගේ කථාවක් කියනව. දැන් අද කාලෙනම් පින්වතුනි, ඒ විදිහට අපට ඇවිදිල්ල ධර්මය සිහිපත් කරන අය නෑ. බාහිර අද්භූත දේවල් නෑ. අද අපට ධර්මය සිහිපත් කරන්න මොන විදියකට හරි ඉන්නෙ මේ මනුස්ස ලෝකෙ ඉන්න අය විතරයි. දැන් මේ දෙවිවරු සිහිපත් කරන්නෙ. එතකොට බලන්න එහෙනම් අපේ ජීවිතය තුල එකම අදහසක් තියෙන එකම දැක්මක් තියෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයට යොමු වෙච්ච පිරිසක් එක්ක ඉඳීම තුළින් අපට කොපමණ නම් ජීවිතයේ යථාර්ථය දකින්න උපකාරයක් වෙනවද? මොකද බාහිරින් සම්පූර්ණයෙන් ලැබෙන්නේ ඒ විදිහෙ උපකාරයක්. අර ගෝසිංග වනයේ ඒ ස්වාමීන්වහන්සේලා එකට වාසය කරලා ඒ කියන්නේ ඒ වාසය කිරීම පිළිබඳව පැහැදිලි වෙන්නෙ. එතකොට එකිනෙකාට උපකාරයක්. ඉතිං ඒක නිසා අද මේ වගේ සිද්ධි මං හිතන්නේ නෑ සිද්ද වෙනව ඇති කියලා, දෙවිවරු ඇවිදිල්ලා සිහිපත් කරන එකක්, ධර්මය පිළිබඳව. 

‘ධාරෙසි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චා’ති?

භික්ෂුවගෙන් අහනව, භික්ෂුව, ඔබ දරාගන්නද ඉන්නේ භද්දේකරත්තයෙහි උද්දේසයත් එහි විභඞ‍්ගයත් කියල. දරාගෙනද ඉන්නෙ අහනවා. 

න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

භද්දේකරත්ත කියන ඒ සොදුරු හුදෙකලාවේ ඇලීමේ උද්දේසය ඒ කියන්නෙ ඒ මූලික කරුණු ටික සහ විභංගය මම දන්නෙ නෑ. දරාගන නෑ. 

ත්‍වං පනාවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති?

ඔබ දන්නවද ඇවැත්නි? දෙවියන්ගෙන් අහනවා. ඒ භද්දේකරත්ත උද්දේසයයි විභඞගයයි දන්නවද? 

අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච.

මමත් දන්නෙ නෑ දරාගන නෑ භද්දේකරත්යේ උද්දේසයයි විභඞගයයි.

ඊළඟට ආයෙ දෙවියා අහනවා “ධාරෙසි පන ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථාති?”

ඔබ භද්දේකරත්ත ගාථා දරාගතද ඉන්නෙ? 

න ඛො අහං ආවුසො, ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථාති.

මම ඒක දරාගනත් නෑ. දැං බලන්ඩකො එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ ඒ බුදුරජාණන්වහන්සේ  එක්ක ඉන්න භික්ෂූන්ටත් ඒ කාරණාව පිළිබඳව දැකීමක් දැනීමක් තිබිල නෑ. අදවගේ කම්පියුටර් නෑ, පොත් නෑ, ඊළඟට වෙන වෙන දේවල් නෑ, ෆෝන් නෑ. එතකොට දැන් කියපුවා වෙනම ගබඩා කරලා නෑනේ. කවුරුහරි ගුරුවරයෙකුගෙන් ඒ ගුරුවරයෙක් යටතෙ ඉන්නකොට ඒ ගුරුවරය කියලා දෙන ටික තමයි දන්නෙ. එතනින් එහා දන්නෙ නෑ. එතකොට බලන්න එහෙනම්, අද අපට ඒ පැත්ත තියෙනවා. නමුත් මේ හැකියාව කියන එක තමා ප්‍රශ්නෙ තියෙන්නෙ.

ත්‍වං පනාවුසො, ධාරෙසි භද‍්දෙකරත‍්තියො ගාථාති?

ඔබ දන්නවද කියල දෙවියගෙන් අහනව. 

අහම‍්පි ඛො භික‍්ඛු, න ධාරෙමි භද‍්දෙකරත‍්තියො ගාථා.

මම භද්දේකරත්ත ගාථා නම් දන්නෙ නෑ. 

උග‍්ගණ‍්හාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. පරියාපුණාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. අත්‍ථසංහිතො භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසොච විභඞ‍්ගො ච ආදිබ්‍රහ‍්මචරියකො’ති.

භික්ෂුව, ඉගෙන ගන්න. භද්දේකරත්තයයි ඒ උද්දේසයයි ඉගෙනගන්න. හොඳට පුරුදුකරන්න. ඒ කාරණාව අර්ථ සහිතයි ඒ කාරණාව මේ නිවන් මගට මුල් වනම කාරණාව. නිවන් මගේ සම්පූර්ණයෙන්ම  මූලිකත්වයේ ඉඳලා තියෙන්නෙ ඒ කාරණාවක් කියලා දෙවියා භික්ෂුවට පැහැදිලි කලා. බලන්න එතකොට මේ භික්ෂුවගෙ ප්‍රශ්නෙ මොකද්ද දැන්? එකම ප්‍රශ්නය ඒකනෙ නේද? දැන් බලන්න අපේ ජීවිතේ එහෙම කරුණු තියේද කියලා. අපේ ජීවිතේ අපි දහම් කාරණාවක් මතු කලාම ජීවිතයේ එකම ප්‍රශ්නෙ ඒකද බලන්න. හොඳට හිතල බලන්න. අපි ධර්මයට කොච්චර ලැදී ද නැද්ද කියන එක අපට එකෙන් තේරුම් ගන්න පුලුවන්. ජීවිතේ එකම ප්‍රශ්නෙ වෙනවනම් ඒ කාරණාව,වෙන කිසි දෙයක් එයාට කරන්න ඊළඟට ඉඩක් වෙන කිසි දෙයක් එයාට කරන්න ඊළඟට ඉඩක් නෑ. මොකද හේතුව ඒක හොයා ගන්නකල්, ඒ කාරණාව ගැන හිතනකල් එයාගෙ ජිවත් වීම එච්චරයි. එහෙම නැත්නම් අපට වෙන වෙන දේවල්. ඒක ගනන් ගන්නෙ නෑ. ඒක එච්චර වැඩිය හිතන්නේ නෑ. හිතුනොත් හිතනවා, විවේකයක් තිබ්බොත් හිතනවා, කල්පනා කරනවා. නැත්නම් ඒක එච්චර නෑ. එහෙමනම් අපේ හිතන ගතිය අපට ධර්මය කොච්චර පහත් මට්ටමකද? අපි ධර්මයට ගරු කිරීම තියෙන්නේ. අපිට කොච්චර වැදගත්ද අපේ අපි දැන් සැලසුම් කරගෙන ඉන්න අපේ ජීවිත පැවැත්ම වැඩ පිලිවෙල. ඒක වැදගත් නේද? අපේ ජීවිත පැවැත්ම සැලසුම් කරගෙන ඉන්න වැඩ පිළිවෙල එදිනෙදා ජීවිතයේ පැවැත්ම විදිහ අපට වැදගත් වෙලා තියෙනවා ඒ ධර්මයට වඩා. එතකොට එහෙම තියෙද්දි එහෙනම් ධර්මයට යොමු වීමක් තියේවිද? කල්‍යාණ මිත්‍රයන්ට ගුරුවරුන්ට යොමුවීමක් තියේවිද? නෑ. සක්කය නිරෝධය වෙන විදිහට චින්තනයක් තියේවිද? නෑ. ඇයි අපේ වැඩ පිළිවෙල තමයි එක. නමුත් දැන් මේ භික්ෂූන්ගේ එහෙම නෙවෙයි. අන්න ඒකයි සත්පුරුෂ, ගුණවත්, සත්‍යවාදී අයගේ ලක්ෂණය. එහෙම තියෙද්දි පින්වතුනි, කවදාකවත් වෙන කිසිම දේකට ඉඩක් එන්නේ නැහැ. මේ කාරණාව ගැන විතරයි එයාගේ ඉලක්කය තියෙන්නේ. 

දැං මේ භික්ෂුව ඔන්න මොකද කරන්නේ, ඉදමවොච සා දෙවතා, ඉදං වත්‍වා තත්‍ථෙවන‍්තරධායි දෙවියා ඒක කියල අතුරුදහන් වෙලා ගියා. අථ ඛො ආයස‍්මා සමිද‍්ධි තස‍්සා රත‍්තියා අච‍්චයෙන යෙන භගවා තෙනුපසඞ‍්කමි. ඊළඟට මේ සමිද්ධි ස්වාමීන් වහන්සේ එලි වුනාට පස්සේ බුදුන් වහන්සේ ළඟට වැඩම කරනවා. ආයෙ වෙන කිසි දේකට නෙවෙයි. අපි නම් යන්නෙ පිණ්ඩපාතෙ ගිහිල්ල ඇවිල්ල, දානෙ ටික වළඳලා, ඉතිං වෙන  වැඩ තියෙනවනේ. දැන් මේ භික්ෂුවට නෑ එහෙම එකක්. දැන් අපටනම් එහෙම  ප්‍රශ්නයක් දුන්නහම වෙන වැඩ හෝ ගාල තියෙනව. අරක ගැන නෙවෙයි එක. ඒක ගැන මූලිකත්වය තියනවනම් දැන් බුදුරජාණන්වහන්සේ ළඟට උදෙන්මනෙ  යන්නට ඕනෑ ඇත්තෙ. ඉතින් රෑ එළි වෙච්ච ගමන් ගියා. ආයෙ වෙන කිසි දෙයක් නෑ. 

උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සමිද‍්ධි භගවන‍්තං එතදවොච. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් සමිද්ධි ස්වාමීන් වහන්සේ වාඩි වුණා. 

ඉධාහං භන‍්තෙ, රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය යෙන තපොදො තෙනුපසඞ‍්කමි…… ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම අලුයම් කාලයේ අතපය මූන හෝදගන්න මම තපෝදා නදියට ගියාට පස්සෙ මම එක සිවුරක් සහිතව වේලමින් ඉන්නකොට ඒ කියන්නෙ තෙත අයින් කරමින් ඉන්නකොට එක්තරා දෙවි කෙනෙක් ඇවිදිල්ල තපෝදා නදිය බබුලුවමින් ඇවිදිල්ල, ඒ දෙවිදුව නැත්නම් ඒ දේවතාවි මට මෙන්න මෙහෙම කියනවා. 

ධාරෙසි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්චාති?

භික්ෂුව ඔබ භද්දේකරත්ත උද්දේසයයි විභඞගයයි දරාගනද ඉන්නෙ කියල. එහෙම කිව්වට පස්සේ ස්වාමීනි මම කිව්වා නැහැ මම දරාගෙන නෑ කියලා. ඊළඟට මම ඇහුව ඒ දෙවියගෙන් ඔබ දරාගනද ඉන්නෙ කියල. ඒ දෙවියත් කිව්ව නෑ මම දරාගෙන නෑ කියලා. ඊළඟට  දෙවිය මගෙන් අහනව 

ධාරෙසි පන ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තියො ගාථාති? 

භද්දේකරත්ත ගාථා දරාගනද ඉන්නෙ අහනව. ඒත් නෑ කියල කිව්ව. මම දරාගන නෑ කියල. ඊලඟට මම ඒ දෙවියන්ගෙන් ඇහුව ඔබ දරාගෙනද ඉන්නෙ කියලා. දෙවියන් දරාගන නෑ කිව්ව. ඊළඟට ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට මේ දෙවියා කිව්වා 

උග‍්ගණ‍්හාහි ත්‍වං භික‍්ඛු, භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච. 

දැන් බලන්න මේක දෙවිකෙනෙක් මේක කිව්වෙ. එහෙම නම් පින්වතුනි, දැන් බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක්, කල්‍යාණ මිත්‍රයෙක්, නැත්නම් ධර්මයත් එක්ක ඉන්න කටයුතු කරන ඒ කවුරු හරි දෙයක් කිව්වොත් කොහොම වෙන්නට ඕනෙද? දැං මේ දෙවි කෙනෙක් කියපු එකක්නෙ. දැන් අපට නම් මේ දෙවියෝ කියන්නේ ලොකු ජාතියක් උනාට විමුක්තියක් හොයන අයට මේ දෙවියෝ කියන්නේ තවත් සත්ව කොට්ඨාසයක් විතරයි. ඉතිං මේ නිසා දෙවියෙකු කියපු කාරණාව මෙච්චර දැනුනානම්, බුදුරජාණන් වහන්සේ, ගුරුවරයෙක්, කල්‍යාණ මිත්‍රයෙක් කියන කාරණාව කොහොම දැනෙන්න ඕනද? ඉගෙන ගන්න කිව්ව භද්දෙකරත්ත උද්දේසයයි විභංගයයි. ගාථා ඉගෙන ගන්න කියලා කිව්වා. ඒවා අර්ථ සහිතයි නිවන් මගට මුල් වෙනවා කියලා ඉගෙන කිව්වා ස්වාමීනි. එහෙම කියලා දෙවියා අතුරුදහන් වෙලා ගියා. සාධු මෙ භන‍්තෙ, භගවා භද‍්දෙකරත‍්තස‍්ස උද‍්දෙසඤ‍්ච විභඞ‍්ගඤ‍්ච දෙසෙතූති.

ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, භද්දේකරත්ත උද්දේසයයි විභඞගයයි දේශනා කරන සේක්වා. බලන්නකො දැන්,  ඕනෑකම සත්‍යවාදී බව, ගුණවත් බව, ජීවිතයට වැදගත් දෙයක් කියන කාරණාව දැනුනට පස්සෙ ආයෙ එතනින් එහා මුකුත් අවශ්‍ය නෑ. පිණ්ඩපාතෙ යන එකද  අනිත් කිසි දෙයක් අදාල නෑ. දැන් ඒකයි ප්‍රශ්නේ. ජීවත් විය යුතු නිසානෙ අපි පිණ්ඩපාත ගිහිල්ලා ආදී කටයුතු කරන්නෙ. හැබැයි ජීවිතේට වටිනා වූ දෙයක් ලැබුනට පස්සේ අර කිසි දෙයක් වටිනවද? කිසි දෙයක් වටින්නේ නෑ. දේශනා කරන්න කියල ඉල්ලා සිටිනවා.

තෙන හි භික‍්ඛු, සුණාහි, එහෙනම් භික්ෂුව අහන්න. සාධුකං මනසිකරොහි, භාසිස‍්සාමීති. හොඳින් මෙණෙහි කරන්න. මම ඔන්න දැන් දේශනා කරන්නම් කියල බුදුරජාණන්වහන්සේ ඔන්න දැන් පැහැදිලි කරනවා. දැන් මේ භික්ෂුව අහන්නෙ උද්දේසයයි විභඞගයයි ඔක්කොම. හැබැයි බුදුරජාණන් වහන්සේ උද්දේසය, නැත්නම් ගථා ටික විතරයි පැහැදිලි කරන්නෙ. 

එවං භන‍්තෙති ඛො ආයස‍්මා සමිද‍්ධි භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

එහෙමයි ස්වාමීනි කියල භාග්‍යවතුන් වහන්සේට සමිද්ධි ස්වාමීන්වහන්සේ පිළිවදන් දුන්න, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලා. ඔන්න දැන් භාග්‍යවතුන් වහන්සේ භද්දේකරත්ත උද්දේසය නැත්නම් ගාථා ටික පැහැදිලි කරනව. 

අතීතං නාන‍්වාගමෙය්‍ය නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං,

යදතීතං පහීනං තං අප‍්පත‍්තඤ‍්ච අනාගතං.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති,

අසංහීරං අසඞ‍්කුප‍්පං තං විද‍්වා මනුබ්‍රූහයෙ.

අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ,

න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

එවං විහාරිං ආතාපිං අහොරත‍්තමතන්‍දිතං,

තං වෙ භද‍්දෙකරත‍්තොති සන‍්තො ආචික‍්ඛතෙ මුනීති.

කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ ටික පැහැදිලි කලා. මොකක්ද මේ පැහැදිලි කරන්නෙ? 

අතීතං නාන‍්වාගමෙය්‍ය අතීතය් අනුව යන්නේ නැතුව 

නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං, අනාගතයේ කියන කාරණාව බලාපොරොත්තුවක් නැතිව, කියන්නෙ යොමුවීමක් නැතුව. 

යදතීතං පහීනං තං යමක් අතීත ද ප්‍රහාණයි

අප‍්පත‍්තඤ‍්ච අනාගතං. අනාගතය කියල එකක්, අන්න ඇවිදිල්ල නෑ.

පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං ප්‍රත්‍යයෙන් ඉපදීම, මම මේ ළඟදි ධර්ම සාකච්ඡාවකත් පැහැදිලි කරන්න යෙදුනා (350) පච්චුප්පන්න කියන කාරණාව, අපි මේ වර්තමානය දැන් කියන කාරණාව, අතීත අනාගත කියන මැනීමකට යන්නෙ නැතිව සැබෑම අර්ථාන්විතභාවයට යොමු වෙනව නම්, ප්‍රත්‍යයෙන් ඉපදීම මයි. එතනින් එහා කතා කරන්න බෑ. ප්‍රත්‍යයෙන් ඉපදීම නම්, ප්‍රත්‍යයෙන් ඉපදීම කියන කොට දැන් බවක් ලැබිලා නෑ. අන්න ඒකයි මජ්ඣෙ සූත්‍රයෙ පැහැදිලි වෙන්නේ “අතීතං ඛො ආවුසො එකො අන‍්තො, අනාගතං දුතියො අන‍්තො, පච‍්චුප‍්පන‍්නං මජ‍්ඣෙ,” එතකොට අතීතය අන්තයක් අනාගතය අන්තයක්  පච්චුප්පන්නය මජ‍්ඣෙ. එතකොට  පච්චුප්පන්න බව මජ‍්ඣෙ කියන  කාරණාවෙදි, අර අතීත අනාගත කියන අන්ත දෙකක් නොවෙනවා නම්, පච්චුප්පන්න බව කතා කරනකොට ලැබීමක් වෙන්නේ නෑ එතෙර වීමක් වෙන්නේ. එතකොට ප්‍රත්‍යයෙන් ඉපදීම, පච්චුප්පන්න, යෝ ධම්මං, ඒ ධර්මය, ඒ ස්වභාවය, ධර්මය කියනකොට දේවල් නෙමේ ස්වභාවය, වස්තූන් නෙවෙයි. යම්තාක් දැන් අපට මතක් වෙන්නෙ හැම වෙලේම තියෙන දෙයක් උපදින විදිහ. නෑ එහෙම නෙවෙයි. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය.

තත්‍ථ තත්‍ථ විපස‍්සති, එහි එහිම විශේෂයෙන් දකිනව. විශේෂයෙන් දකිනව කියන කාරණාවෙන් අර්ථ ගන්වන්නේ මුලාවෙන් නැතුව ඒ කියන්නෙ හොඳින්ම දකිනව කියන එක. ‘පස්සති’ කියන්නෙත් දකිනව ‘වි’ කියල දැම්මට පස්සේ වඩාත් තීව්‍රව දකිනවා. එතකොට එහි එහිම තීව්‍රව දකින්නේ මොකක්ද? ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය එහි එහෙම තීව්‍රව දකිනවා නම්, විශේෂයෙන් දකිනවා නම්, ඒ දැකීම කියන කාරණාව වෙද්දී අතීත නිර්වචනයත් අනාගත නිර්වචනයක් යන්න බෑ නේද? ඇයි ‘අතීතං නාන‍්වාගමෙය්‍ය’ නේ. අපට යම් කිසි දෙයක් මනින්න පුළුවන්ද අතීත නිර්වචනයකට නොයා? බෑ. අපි වර්තමානයේ දැන්, මේ දැන් හටගන්න දේවල් කියලා මැන්නෙ මොකක් එක්ක ද? අතීතය එක්ක නේද? නැත්නම් මනින්න බෑ. එහෙනම් මෙතන මැනීමක් හැටියට යෙදෙන්නෙ නෑ එතෙර වෙනවා. 

අසංහීරං දැන් මෙහෙම යොමු වෙනකොට මොකද වෙන්නේ? ඇදීල යන්නේ නෑ. 

අසඞ‍්කුප‍්පං අන්න කෝප්‍ය වෙන්නේ නෑ ඒ කියන්නේ සෙලවෙන්නේ නෑ. 

තං විද‍්වා මනුබ්‍රූහයෙ. අන්න ඒ කෙනාට කියනවා ‘නුවණැති නෙමේ’, නුවණැත්තා. දැන් බලන්න මේ කියපු කාරණා වලින් කියවෙනවා නේද සක්කාය, ස්වකියත්වය කියන මෙන්න මේ කාරණාවට ඉඩක් එන්නෙ නෑ. කිසිදු විදිහකින් ඉඩක් එන්නෙ නෑ සක්කායකට, ස්වකීයත්වයකට, පැවැත්මකට. ඒ කියන්නේ කතාව ඉවරයි. මෙතන දැන් ඇඟ කොහේ හරි අරන් යන්න ඕනද හුදකලා වෙන්න? එතන ඇඟ කොහේ හරි අරන් ගියාම හුදකලත්වයක් තමාට ලැබිලා. දැන් ඇඟ කොහෙවත් අරන් යනවා කියන එක නෙවෙයි. ජීවිතයේ ගුණවත් කෙනා සත්‍යවාදී දැක්ම කියන කාරණාව. 

දැන් බලන්නකො අපි ගොඩාක් නොහිතන පැති ටිකක් මේ ටික. අපි නිකං ආ අපි දැන් ධර්මය දන්නා අය. අපි මෙහෙමයි කියලා අපි දැන් ඔහේ ඉන්නවා ප්‍රමාද වෙවී. අර මේ ලඟදි ඨිති සූත්‍රයේදී පැහැදිලි කලේ හිස ගිනි ගත්ත කෙනෙක් එගිනි නිවන්න මහන්සි ගන්නවා වගේ දකින්න ඕනේ මේ කෙලෙස් ප්‍රහානය කියලා. අර කුසල ධර්මයන්ගේ දියුනුවෙන ඒ කෝණයත් එක්ක. දැන් අපි බලන්න අපේ ජීවිතේ තුළ ඔය හිස ගිනි ගත්ත බවක් එක්ක අපි දකිනවා ද කියලා. දැන් මේ සූත්‍රයේදී පෙන්නනවා,

අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ,

න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.

අද ම වීරිය කරන්න ‘අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං’ අද ම වීරිය කරන්න කියලා කියනව. ආයෙ පොඩ්ඩක් වත් පරක්කු කරන්න කියන්නේ නෑ. ‘කො ජඤ‍්ඤා මරණං සුවෙ,’ කවුද දන්නේ හෙට මරණය එයිද කියලා. කවුද දන්නෙ?  දැන් මේක මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු භද්දේකරත්ත උද්දේසයේ කොටසක්. දැන් මේ භද්දේකරත්ත උද්දේසයේ කොටස මේ සමිද්ධි භික්ෂුවට කොච්චර වැදගත් උනාද, අපට බලන්න මේ උද්දේසයේ කොටස පිළිබඳව අපි ඔය කෑරණාව ගැන හිතනවද කියල. අපි මේ සක්කායක ලැගගෙන දැන් අපි තෘප්තිමත් වීමක් හොයනවා මිසක් යථාර්ථය දකින්න ඕන තැනට යොමු කරන්න මේ කරුණු ගැන හිතන්නේ නෑ. හෙට මරණය එයිද කවුද දන්නේ? අදම විර්‍ය කරන්න. මේ මොකටද වීර්‍ය කරන්න ඕනෙ? මෙන්න මේ සක්කාය නිරෝධය, අර්ථාන්විත සක්කාය නිරෝධය කියන එක, ‘න හි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.’ මාරයා සමග ගිවිසුම් ගහගෙන නෑ.

එවං විහාරිං ආතාපිං මෙන්න මේ ආකාරයට යම් කිසි කෙනෙක්.

අහොරත‍්තමතන්‍දිතං, දිවා රාත්‍රී දෙකෙහිම, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව මෙලෙස වාසය කරනවා නම්, ඔය වාසය කිරීමට කියනවා, 

තං වෙ භද‍්දෙකරත‍්තොති මෙන්න මේකට කියනවා සොඳුරු හුදෙකලාවේ ඇලීම කියලා. 

සන‍්තො ආචික‍්ඛතෙ මුනීති. අන්න ශාන්ත වූ මුණිවරයා කියලා කියනවා. එතකොට එහෙනම් ඔන්න බලන්න සැබෑම භික්ෂුත්වය, මුණිත්වය, පැවිද්ද කියන අර්ථාන්විත භාවය සිදුවෙන්නේ  කුමක් එක්කද? භද්දේකරත්ට්ත බවත් එක්ක. භද්දේකරත්ත බව කියන්නේ, සක්කාය නිරෝධය. සක්කාය නිරෝධ බවක් ලැබෙන්න විදිහක් නැහැ ප්‍රතිපදාව වෙනකොට. සක්කාය නිරෝධය අර්ථාන්විත වෙන්නේ මොකක් එක්ක ද? අනුගත වීම, ‘සද්ධා ජාතෝ’ සද්ධාව මූලිකත්වය සද්ධා බීජය, මේ කාරණාවෙන් තොරව සක්කාය නිරෝධයක් වෙන්නෙ නෑ. ඒ කාරණාවෙන් තොරව සක්කාය නිරෝධයක් වෙන්නේ ලෝකයේ දෙනෙකුටයි. හොඳට ඒක තේරුම් ගන්න. ඒ කවුද? බුදුරජාණන් වහන්සේයි පසේබුදුරජාණන් වහන්සේයි. වෙන කිසිදු කෙනෙකුට ලෝකයේ තමන්ගේ වැඩපිළිවෙළක්, තමන්ගෙ හිතන, තමන් හරි කියලා ගන්න  ක්‍රමයක් ඔස්සේ සක්කාය නිරෝධ වැඩපිළිවෙලකට යන්න බෑ. බාහිර කෙනෙක් අවශ්‍යමයි. බුදුරජාණන් වහන්සේටයි පසේබුදුරජාණන් වහන්සේටයි අසාමාන්‍ය හැකියාවක් තියෙනව. ඒ අසාමාන්‍ය හැකියාව තුළදී, දහම කියන කාරනාව ගුරුත්වය වෙලා ගුරු බව වෙලා, දහමට ඒ ප්‍රතිපදාවට අනුගත වෙනව. එහෙම සිදුවුනාට පස්සේ තමයි සම්බුද්ධත්වයට පසේ බුද්ධත්වයට පත්වෙන්නෙ. 

එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න අපට කොපමණ අනුගතවීම, යොමුවීම, සද්ධා ජාත බව ඇතිවීම තියෙන්නට ඕනෙද කියන එක. ඒකෙන් විතරයි මේ භද්දේකරත්ත භාවය, ඒ උතුම් මුණි භාවය, ශාන්ත මුණි භාවය  ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් ඇති කරගන්න හැකියාව ලැබෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ මේ ක වදාරලා, විහාරයට වැඩම කරන්නට යෙදුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් උද්දේස විභඞගයයි දෙකම අහනවා. නමුත් උද්දේසය විතරක් වදාරලා විහාරයට වැඩම කරනවා. දැන් ඇයි ඒ? හිතන්න ඉඩ දෙන්නෙ නේද? තව යොමුවීමේ අවශ්‍යතාව වැඩි කරලා, දැන් අපි දන්නවා බාහිය සූත්‍රයේ එහෙම යොමු වීමේ අවශ්‍යතාවය කොච්චර වැඩි කලාද? ඒක වැඩි කරල තව යොමු කරනවා. එක පාරට කියනකොට අර තියෙන ඕනෙකම ටිකක් දිය වෙලා යනවා නේ. නමුත් අර ඕනෙකම එන්න එන්න වැඩි කරනවා. එතකොට මේ එහෙම ජීවිත පැවැත්මත් එක්ක තමයි ක්‍රමානුකූලව සක්කාය නිරෝධ ප්‍රතිපදාවකට යොමු කර ගන්න පුළුවන්. නැත්නම් පින්වතුනි අපි නිකං මේ එක පාරට ගෙඩිය පිටින් ඕනේ වගේ  අපිට අර අමුතු චින්තනයක් නෙ තියෙන්නෙ. අමුතු චින්තනයක් නැතිව අපේ ඕනැකම, අපේ යොමුවීම මේක තමයි අපි තීව්‍ර කරගන්නට ඕනෙ ඇත්තෙ. වැඩිදියුණු කරගන්නට ඕනෙ ඇත්තෙ.

අථ ඛො තෙසං භික‍්ඛූනං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: භාග්‍යවතුන් වහන්සේ වැඩලා නොබෝ වේලාවකින් ඒ භික්ෂුවට මෙහෙම හිතුනා.

‘ඉදං ඛො නො ආවුසො, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො.

භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් මේ ධර්මය විස්තර කරළා අර්ථ විස්තර නොකොට, විහාරයට වැඩම කරන්නට යෙදුනා. 

කො නු ඛො ඉමස‍්ස භගවතා සංඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජෙය්‍යාති.

දැන් පලවෙනි පාර කිව්ව ගමන්ම, මේ භික්ෂුවට මොකද උනේ? අරක මතකයි. දැන් ගාථාවත් කියලාමයි කියන්නෙ, මම ගාථාව කිව්වේ නැහැ කලින් කිව්ව නිසා. බලන්න ඒ යොමුවීම නේද? ඒ යොමු වෙලා ඉද්දි එක පාරයි කිව්වේ. එක පාරෙන් මතකයි. ඊළඟට කාගෙන්ද මම මේක විස්තර වශයෙන් අහගන්නෙ කියලා කල්පනා කරනවා. 

අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි:

ඒ භික්ෂුවට මෙහෙම හිතෙනවා.

 ‘අයං ඛො ආයස‍්මා මහාකච‍්චානො සත්‍ථු චෙව සංවණ‍්ණිතො, සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. 

මේ මහා කච්චායනයන් වහන්සේ ශාස්තෘන් වහන්සේත් නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් වර්ණනා කරලා තියෙනවා.

පහොති චායස‍්මා මහාකච‍්චානො ඉමස‍්ස භගවතා සංඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජිතුං. 

මේ මහා කච්චායන උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මය අර්ථ වශයෙන් විස්තර කරන්න හරි දක්ෂයි.

යන‍්නූන මයං යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමෙය්‍යාම. 

එහෙනම් මම මහා කච්චායන යන වහන්සේ වෙත යොමු වෙන්නට ඕනේ.

උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං මහාකච‍්චානං එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාමා’ති.

මම මහා කච්චායයන් වහන්සේගෙන් මේක නැවත ප්‍රශ්න කර කර අහන්නට ඕනේ මේක තේරුම් ගන්න.

අථ ඛො තෙ භික‍්ඛූ යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමිංසු. 

ඉතින් මේ භික්ෂුව මහා කච්චායනයන් වහන්සේ වෙත වැඩම කළා.

උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා මහාකච‍්චානෙන සද‍්ධිං සම‍්මොදිංසු. 

මහා කච්චායන ස්වාමීන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදුනා. බලන්න හැම තැනකම තියෙන්නේ සතුටු සාමීචියේ යෙදීම නේද? ඒ සුහද ශීලීත්වය, ලෙන්ගතු භාවය. සතුටු සාමීචියේ යෙදී යෙදිලා මහා කච්චායන ස්වාමීන් වහන්සේගෙන් මේ විදිහට ප්‍රශ්නය අහනව.

‘ඉදං ඛො නො ආවුසො කච‍්චාන, භගවා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

අනේ කච්චානයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගථා ටික කෙටියෙන් කියලා විහාරයට වැඩම කරා නේ. අතීතං නාන‍්වාගමෙය්ය කියල ආයෙත් හේ ගාථා ටික කියනවා. 

තෙසං නො ආවුසො කච‍්චාන, අම‍්හාකං අචිරපක‍්කන‍්තස‍්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො.

මට භාග්‍යවතුන් වහන්සේ වැඩමකර නොබෝ වේලාවකින් මෙහෙම හිතුනා. කාටද මේ ටික විස්තර වශයෙන් විභාග කරලා දෙන්න පුළුවන්? මේ ගාථා ටික. එතකොට මට මෙහෙම හිතුනා. මහා කච්චායනයන් වහන්සේ පිළිබඳව වර්ණනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේත් අනෙකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් කෙටියෙන් කියන ලද ධර්මය විස්තර කරලා දෙන්න පුළුවන් කියලා. ඒ නිසයි මම මහාකච්චානයන් වහන්සේ වෙත මෙලෙස වැඩම කළේ. 

විභජතායස‍්මා මහාකච‍්චානොති.

කච්චායනයන් වහන්ස, මට මේක විස්තර කර දෙන සේක්වා කියලා මහා කච්චානයන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. එතකොට ඉල්ලා සිටියට පස්සේ එකපාරටම එහෙම කියන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. එතකොට තමන්ගේ වැදගත්කමක් ඇති වෙන්නේ නැති තැනදී, ධර්මයේ වැදගත්කමක් තියෙද්දි, ධර්ම ස්වාමි වූ බුදුරජාණන් වහන්සේව ඉස්මතු කිරීම නෙවේද මුලින්ම කරන්නේ?අනික ජීවමානව ජීවමානව ඉන්දැද්දි? 

සෙය්‍යථාපි ආවුසො, පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො අතික‍්කම‍්මෙව මූලං අතික‍්කම‍්ම ඛන්‍ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය.

ඔබ හිතනවද මේ වගේ දෙයක්? අරටුවක් කැමති ව හැසිරෙන පුරුෂයෙකුට මහා අරටුවක් තියෙන ගහක් හම්බ වුණාට පස්සේ, ඔහු මේ අරටුව අයින් කරලා, කඳ අයින් කරලා මේ කොළ අතු වලින් ප්‍රයෝජනයක් තියනවයි කියල ඔබ හිතනවද? 

එවං සම‍්පදමිදං, ආයස‍්මන‍්තානං සත්‍ථරි සම‍්මුඛීභූතෙ තං භගවන‍්තං අතිසිත්‍වා අම‍්හෙ එතමත්‍ථං පටිපුච‍්ඡිතබ‍්බං මඤ‍්ඤථ. 

අන්න ඒ වගේ නේ ඔබ බුදුරජාණන් වහන්සේ ඉන්දෙද්දි නේ මේ මගෙන් මේ විදියට ප්‍රශ්න කරන්න හදන්නේ. ඒ කියන්නේ කොළ අතුවලින් ප්‍රශ්න කරනවා වගේ, කොල අතු ප්‍රයෝජනයට ගන්නවා වගේ, අරටුව හොයද්දි. ඒ වගේම භාග්‍යවතුන්වහන්සේ ඉන්දැද්දි නේ මේ මගෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ. ඊලඟට පැහැදිලි කරනව දන්න දේ දන්නව. දකින දේ දකිනව.

දැන් බලන්න මේ අමතන විදිහෙ දී කච්චායන ස්වාමීන් වහන්සේට අමතන්නේ ‘ආයස්මා’ කියලා. කච්චායන ස්වාමීන් වහන්සේ මේ භික්ෂුවට අමතන්නේ ‘ආවුසෝ’ කියල. ‘ආවුසෝ’ කියලා අමතන්නේ බාල කෙනෙකුට. ‘ආයස්මා’ කියලා සම හරි වැඩිහිටි හරි කෙනෙකුට තමයි අමතන්නේ. එතකොට ගුරුවරයාට අමතන දේශනා හැමඑකකම තියෙන්නේ ‘භන්තේ’ කියලා. අනිත් වැඩිහිටි අයට හරි සම අයට හරි අමතන්නේ ‘ආයස්මා’ කියලා. හැබැයි කච්චාන ස්වාමීන් වහන්සේ අමතන්නේ සමිද්ධි ස්වාමීන් වහන්සේට ‘ආවුසෝ’ කියල බාල කෙනෙක් විදිහට. 

සො ‘ආවුසො භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති, 

ඊළඟට පැහැදිලි කරනවා ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දන්නා දන්න දේ දන්නවා. දකින දේ දකිනවා. 

චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. සො චෙව පනෙතස‍්ස කාලො අහොසි යං භගවන‍්තං යෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. 

දන්න දේ දන්නෙ දකින දේ දකින්නේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ඇසක් වගේ. භාග්‍යවතුන් වහන්සේ ඥානමයෙන් යුක්තයි. ධර්මමයෙන් යුක්තයි. අමෘර්තය දන් දෙනවා, තථාගතයන් වහන්සේ තමයි ධර්ම ස්වාමි. භාග්‍යවතුන් වහන්සේගෙන් ඔය කාරණාව අහන්න කියනවා.

යථා වො භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාථාති.

භාග්‍යවතුන් වහන්සේ ගෙන් අහල භාග්‍යවතුන් වහන්සේ කියන දේ දරා ගන්න. 

අද‍්ධාවුසො කච‍්චාන, භගවා ජානං ජානාති, පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො. 

ඒක එහෙම්මමයි. භාග්‍යවතුන් වහන්සේ දන්න දේ දන්නවා දකින දකිනවා. මේ සියල්ලක්ම භාග්‍යවතුන් වහන්සේ තමයි ධර්ම ස්වාමි. 

සො චෙව පනෙතස‍්ස කාලො අහොසි යං භගවන‍්තං යෙව එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාම. යථා නො භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාම.

මම භාග්‍යවතුන් වහන්සේ හම්බ වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඒක අහන්නම්. මං ඒ විදිහටම දරාගන්නම්. නමුත් කච්චානයන් වහන්ස, ආයුෂ්මතුන් වහන්ස, ශාස්තෘන්වහන්සේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා වර්ණනා කරලා තියෙනවා කෙටියෙන් කියපු දේ විග්‍රහ කරන්න පුළුවන් කියලා. ඒ නිසා කච්චායනයන් වහන්ස, මට මේක ඔබට බරක් නොවේ නම් විග්‍රහ කර දෙන සේක්වා. 

දැන් බලන්න බල කිරීමකුත් නෙවෙයි. බරක් නැත්නම් විග්‍රහ කරලා දෙන්න. ආයාචනය, යැදීම, යොමුවීම මෙන්න මේක තමයි තිබිය යුත්තේ. ගහෙන් ගෙඩි එන්නා වගේ කියන එකක් නෙවෙයි. නිකං අර ප්‍රශ්නෝත්තර වැඩසටහනක් වගේ නෙවෙයි, අසාමාන්‍ය යොමුවීමක්. 

තෙන හාවුසො, සුණාථ, 

එහෙනම් ඇවැත්නි මේ අහන්නකෝ.

සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති.

හොඳින් අවධානය යොමුකරගන අහන්න. මම ඔන්න දැං කියනව. එහෙමයි කියලා සමිද්ධි ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් කියපු කාරණාව ඒ කියන්නේ ‘අතීතං නාන‍්වාගමෙය්‍ය, නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං…..’ කියන මේ භද්දේකරත්ත කියන සොඳුරු හුදකලාවේ ඇලීම, ‘භද්ද’ කියන්නෙ සොඳුරු, ‘ඒක’ කියන්නෙ හුදකලාව, ‘රත්ත’ කියන්නෙ ඇලීම. භද්ද ඒක රත්ත සොඳුරු හුදකලාවේ ඇලීම.

එතකොට මේ සොඳුරු හුදකලාවේ ඇලීම පිළිබඳව බුදුරජාණන්වහන්සේ පෙන්වපු ගාථාව උද්දේසය මහාකච්චායන ස්වාමීන්වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිළි කරනවා. මං මෙන්න මේ විදිහටයි පැහැදිලි කරන්නේ. 

ඉමස‍්ස ඛො අහං ආවුසො, භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස, එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි.

බුදුන් වහන්සේ විස්තර කරන්නැතුව පැහැදිලි කරපු මෙන්න මේ ගාථා තුළ අර්ථය මං මෙන්න මෙහෙමයි දන්නෙ කියලා ඔන්න මහා කච්චාන ස්වාමීන් වහන්සේ සමිද්ධි ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. 

කථඤ‍්චාවුසො, අතීතං අන‍්වාගමෙති: 

ඇවැත්නි, දැං කොහොමද අතීතය අනුව යන්නෙ? දැන් මේකෙදි කරුණු කිහිපයක් පැහැදිලි කලා. ‘අතීතං නාන‍්වාගමෙති’ කිව්ව. ‘නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං’ කිව්ව. එතකොට ‘අතීතං නාන‍්වාගමෙති’ විග්‍රහ කරන්න වෙන්නේ ‘අතීතං අන‍්වාගමෙති’ එක්ක. නැත්නම් විග්‍රහ කරන්න බෑ. අතීතය අනුව යොමු වෙනවා කියන එක. යොමු වෙනබව නෑ කියන එකයි. අතීතය අනුව යොමු වෙන්නේ නැති බවක් ඇතිබව නෙවෙයි. හොඳට ඒක තේරුම් ගන්න. අතීතය අනුව යොමු වෙන්නෙ නැති බවක් ඇති බව නෙමෙයි. දැන් අපිට අතීතය අනුව යන්නේ නැති බවක් තියෙනවනේ. නෑ නෑ. ඒක නෙවෙයි. අතීත යනුව යනව කියන බව විග්‍රහ කරනවා ඒ කාරණාව නෑ කියල විග්‍රහ කරනවා. ඉස්සෙල්ලාම ඒ නිසා ඔන්න පැහැදිලි කරනවා ‘අතීතය අනුව යනවා’. කොහොමද? දැන් මේක හොඳට තේරුම් ගන්න. මම මේ ලගඳි කරපු ධර්ම සාකච්ඡාවල දීත් පැහැදිලි කලා යම් කාරණාවක් පැහැදිලි කරන්නේ, මම හිතන්නෙ 351 හරි 352 හරි හැටියට ඒ සාකච්ඡා එයි. එකේදී පැහැදිලි කරන්නට යෙදුණා ඒ කියන්නෙ විඳීම කියනකොට විඳින බවක් නම් කරලා මේක විඳීමයි කියල දකින එක නෙමෙයි. අපි වින්ද බවක ඉන්නවා. ඕකයි අපි විඳීමක යෙදීම කියන්නේ. එතකොට දැන් ඇහැක බවක් යෙදීමයි අපි ඇහැක බවක දකින්න තියෙන්නෙ. ඇහැ කියන බවක් හිතීම නෙවෙයි. දැන් අපි මෙහෙම කරනවනෙ. ඔන්න කනට සද්දයක් ඇහෙනකොට දැන් මේකෙ ඇත්ත දකින්න ඕනෙ. මේං කණ ආං සද්දෙ. දැන් කනක යෙදීමද කනක නම් කිරීමද? කනක නම් කිරීම නේද? දැන් අපට සද්දයක් ඇහෙනකොට දැන් ඔන්න අනෝමදස්සි ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ඇහෙනවා. දැන් ඇහෙනකොට ආ මේ කණට ඇහෙන්නේ. කණ කියන්නෙ මෙහෙම එකක්. සද්දෙ කියන්නේ මෙහෙම එකක්. දැන් කන ගැන කණ යෙදිලද දැක්කේ? කණ ගැන කණ හිතිල කල්පනා කරනවද? හිතලා කල්පනා කරනවා නේද? කණ ගැන යෙදුණා නම් කනේ යෙදීමත් එක්කයි හොයන්න තියෙන්නෙ. නැතුව කණ ගැන නම් කිරිල්ල නෙවෙයි. ඒක නම් කිරීමක්. ඉතින් ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න. 

ඉති මෙ චක‍්ඛුං අහොසි අතීතමද‍්ධානං, 

මේ පිළිබදව හොඳට තේරුම් ගන්න මේකෙ අර්ථය ගන්න. නැත්නම් මොකද වෙන්නේ? අපට අතීතයේ ඇහැක් තිබුණා. නෑ නෑ අතීතයේ ඇහැක් තිබුණා කියලා යෙදීම. හොඳට ඒක තේරුම් ගන්න. අතීතයේ ඇහැක් තිබ්බා. අතීතයේ රූපයක් තිබ්බා. ඉතිං ඒක අතීතයේ ඇහැක් තිබ්බා අතීතයේ රූපයක් තිබ්බ කියන එකක් නෙවෙයි නේ. දැං අපි ධම්මාරම්මණයක් එක්ක ඉන්න එකක්නෙ. දැන් ඔබට මෙහෙම හිතන්න. අතීතය ගැන සිහි වෙනකොට අතීතයක් ගැන සිහි වෙනකොට යෙදීමක අපට දැක්මක් එක්ක අපට හම්බඋනා නම්, දැන් අතීත ඇහැ රූප නේද? දැන් අතීතයක යෙදීමක් එක්ක දැක්මක් ඇති උනානම්, ඒ කියන්නේ දැන් ජීවත් වෙන්නේ අතීතයක යෙදීමක නම්, අන්න දකින දෙයක් ඔස්සේ නම්, ඒ කියන්නෙ ඇහැක ක්‍රියාකාරීත්වය අපි කලින් දැක්ක එකක්, දැන් අපි හිතමු මම උදාහරණයක් කියන්නම්කො. මේ දේශනා අහන කවුරුහරි රෑණකෙටුවගල ආරණ්‍යට ඇවිල්ල තියනව කියල හිතන්නකො කලින්. දැන්, සිහිවෙනව ඒක. දැන් ඇහැ යෙදුන රූපය යෙදුන නේද? එහෙම නැතුව, ආ මේන් ඇහැ අන්න අතීතයේ ඇහැ. අන්න අතීතයේ රූපය. නෑ නෑ එහෙම නෙවෙයි. පටලවා ගන්න එහෙම එපා. ඒවා අරමුණුනේ. ඒකට ඇයි ඇහැ කියන්නේ. ඒ කාරණාව අපි දැන් සිහි කිරිල්ලක් නේද? දැන් අපි සිහිකරන කාරණාවක්. එතකොට එහෙනම් අතීතයේ කියන කාරණාවක, අතීතය කියන බවක ඇහැ රූප බවක් තියෙන්නට ඕනෙ. එතකොට දැන් අපිට ඒව තියනවනේද සාමාන්‍යයෙන්? මේක බලමුකො.

‘ඉති මෙ’ මෙසේ අතීතයේ ඇහැචක‍්ඛුං අහොසි’ දැන් ඔන්න සිදුවීම ඒ විදිහටම සිදු වෙනවා. දැන් දකිනවා. දැන් මගේ යෙදෙනවා අතීතයේ ආවර්ජනයක්. දැකපු දෙයක් ඔස්සේ. ඇහැ ඔස්සේ. මෙසේ ඇහැ ‘අහොසි අතීතමද‍්ධානං,’ දැන් අපිට මේ වචන ටික ඔක්කොම පෙන්නන්නෙ සිදුවීමක්නේ. අපිට අතීතයේ ඇහැ මෙහෙම වුණා කියලා අර පද ටික නම් කරගන්න එක නෙමෙයි. දැන් යෙදෙන විදිහේ අතීත භාවය. හොඳට ඒක හිතන්න. 

ඉති රූපාති තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං

මෙන්න මෙසේ තමයි රූපයන්, ස්වරූපයන් චන්දරාගයෙන් බැඳිලා දැනගත්තා උනේ. දැන් ආයෙ මං අර කියපු එක හිතන්න. රෑනකෙටුවගල ආරණ්‍යට ආපු කෙනෙකුට, ඒ යෙදීම සිතන කොට, දැන්, දැන් යෙදෙනකොට, දැන් බවක නෙවෙයි නේද ඉන්නේ? මම දැන් බවක නෙවෙයි. මගේ දැන් යෙදීම ඇහැට දැකපු රෑනකෙටුවගල කතා කරන්න එපා. දැන් යෙදීමේ සිද්ධිය මෙසේ ඇහැට රූප ඡන්දරාග පටිබද්ධයෙන් දැනගත්තා කියන ස්වභාවය නේද? යෙදීම. අන්න අතීතාවර්ජනය කියන්නේ ඒකට. අතීතය අනුව යනවා කියන්නේ අන්න ඒ කාරණාව.

ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති. 

දැන් මොකද වෙන්නේ? ලස්සනයි. දැන් අපිට තෘප්තිමත් භාවයක්, ඒකෙ තදභිනන්දතියක් එනව නේද? අන්න කැමැත්තෙන් ඇලිලා, බැඳුන දැනගැනීමේ මොකද වෙන්නෙ? එකරුණේ නන්දියක් ඇතිවෙනවා. ඒකනේ ඒකත් එක්ක යන්නෙ. හැබැයි දැන් හොඳට තේරුම් ගන්න මේ අපි නම් කරන ටිකට එහෙම නෙමෙයි ඈ. දැන් අපි විදර්ශනා කරන්න යනව කියල, මොනවහරි කල්පනා කරන්න යනව කියල, බද්දේකරත්ත සූත්‍රය තේරුම් ගන්න යනව කියල, අපි කරනව ‘අතීතයේ ඇහැ, අතීතයේ රූපය, අතීතයේ දැනගත්තා’, නෑ නෑ නෑ. සිද්ධිය කියන්නෙ. සිද්ධිය කියනකොට මේ සිද්ධිය එක්ක අපි දැනගන්න ඕනෙ. නම් කරන එකට නෙවෙයි. 

ඊලඟට මේකට කියනවා 

තදභිනන්‍දන‍්තො අතීතං අන‍්වාගමෙති. 

මෙන්න මේ විදිහට ඒ කරුණත් එක්ක නන්දති බව වෙනකොට අන්න අතීතය අනුව යනවා. යොමුවෙනවා. ඔන්න ඔය විදිහට පෙන්වනවා

ඉති මෙ සොතං අහොසි අතීතමද‍්ධානං, 

මෙසේ මගෙ කණ, දැං ඔන්න ඇහිච්ච දෙයක්. ඇහිච්ච දෙයක් වෙනකොට සිදුවීම කණට සද්දයක්. අපිට නම්කිරීමක් හැටියට කණට සද්දයක් කියල නම් කරන එක නෙවෙයි. සිදුවීම. කණට සද්දයක්. එතකොට කණට සද්දයක් කියන්නෙ දැන්  ඔන්න අහපු දෙයක්. ඔන්න ඔබ ලඟදි භාර සූත්‍රය ඇහුව නම් අහපු කාරණාව ඔන්න භාර සූත්‍රයේ ඇහිච්ච විදිහ අන්න ඒ කාරණාවට ගිහිල්ල. දැං ඒ යෙදිල්ල, කණට ශබ්දය එක්ක චන්ද රාගයෙන් දැනගැනීමක යෙදුනා. ඒකත් එක්ක තදභිනන්‍දති බවක් එක්ක මොකද වෙන්නෙ, අන්න අතීතය අනුව යෑම. මේ අතීතය අනුව යෑම මිසක් පින්වතුනි, අතීතයේ අනුව ගියා කියලා මම දැන් දැන ගත්ත කියන එකට නෙවෙයි. දැන් අපි යන්නේ මොකක් කරන්නද? ආ අතීතය අනුව යනවා දැන් මම දැනගත්තා. ඒකට දැන් අපිට ඇඩ් කරන්න වෙනව තව මොනවා හරි නේද? අතීතය අනුව යෑම විග්‍රහ කරන්නෙ. එහෙම මිසක් ‘අතීතය අනුව යෑම මම දැන් දැනගත්තා’ ඒක නෙවෙයි. ඔන්න කනට සද්දයක් ඇහිච්ච එකක් මට දැන් සිහි වුනා. නෑ නෑ ඒක මට දැන් වෙච්ච එකක්. ඒක දැන් මගෙ මනෝ ලෝකයත් එක්ක පච්චුප්පන්න බව උනේ නෑ. ඒ නිසා ඒක හොඳට හිතන්න. 

ඊලඟට ඔය විදිහටම ඔන්න ඝානය.

ඉති මෙ ඝානං මෙසේ නාසය, මෙසේ ගන්ධය ඡන්‍දරාගපටිබද‍්ධයෙන් දැනගැනීම උනා. ඒ ඡන්‍දරාගපටිබද‍්ධයෙන් ඒ දැනගැනීම තදභිනන්දති උනා, අන්න අතීතය අනුව යෑම. සිදුවීම. නම් කිරීම නෙවෙයි සිදුවීම. මම ඔබට පුන පුනා පැහැදිලි කරනවා නම් කිරීම නෙවෙයි සිදුවීම. සිදුවීම ගැනයි කියන්නේ.

ඊළඟට ඒ විදියටම මෙසේ දිව, මෙසේ රසය චන්දරාගයෙන් බැඳිල ගිහිල්ල දැනගැනීමක් වුණා. අන්න චන්දරාගයෙන් බැඳිල ගිහිල්ල දැනගෙන සතුටින් පිළිගත්තා. මෙන්න මේකයි අතීතය අනුව යෑම. සිදුවීම.

ඊළඟට කයට දැනිච්ච පහස. දැං අපට ඔන්න කලින් දැනිච්ච වේදනාවක්, දැන් ඒක එක්ක යෙදෙනවා කියන්නේ මොකක්ද? ඒ එක්ක යෙදෙනවා කියන්නේ අතීතය අනුව යාමක්. අපිට ආ කලින් කය තිබුන. කලින් මෙහෙම ප්‍රශ්නයක් තිබ්බ. එහෙම එකක් නෙමෙයි.

ඊලඟට, හිතපු දේවල්, දැන් බලන්න සොඳුරු හුදකලාවේ ඇලෙන්නේ නැති කෙනාට ප්‍රශ්න කොච්චරද නේද? අතීතයේ කරපු දේවල්, අතීතයේ දැකපු දේවල්, අතීතයේ හිතපු දේවල්. දැන් සොඳුරු හුදකලාවේ ඇලීමක් නෑනේ. අතීත බවක ඡන්දරාගපටිබද්ධයත් එක්ක ඉන්නවා. අතීතයේ අපට කට්ටියක් හිටියා. අපේ හිතවත් පිරිසක් හිටියා. දැන් අපිට මේ රූප නේද? ඇහෙන් දැකීම, මනසෙන් හිතීම, දැන් මේ මේකත් එක්ක නේද යන්නේ? ඉතින් භද්දේකරත්ත ද? නෑනේ. අපේ පිරිස ගැන, අපි කරපු දේවල් ගැන, ඒ එක්ක යොමු වෙනවා නම්, භද්දේකරත්ත ද? නෑ. නෑ. ‘අතීතං අන‍්වාගමෙති’ හොඳට තේරුම් ගන්න. මේකට කියනවා ඇවැත්නි, ‘අතීතං අන‍්වාගමෙති’ කියලා.

ඔන්න කච්චායනයන් වහන්සේ තේරුම් කරනවා ‘අතීතං නාන‍්වාගමෙති’ කියන එක. 

කථඤ‍්චාවුසො, අතීතං නාන‍්වාගමෙති: ඉති මෙ චක‍්ඛුං අහොසි අතීතමද‍්ධානං, ඉති රූපාති න තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. න ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස න තදභිනන්‍දති. න තදභිනන්‍දන‍්තො අතීතං නාන‍්වාගමෙති. 

දැං අතීතය අනුව යන්නේ නෑ කියන කාරණාව ආයෙ අපි කල්පනාවක් එහෙම නෙවෙයි. අර සිද්ධියක් වෙලා නෑ. ඒ සිද්දියක් වෙලා නැත්නම් ඒ සිද්ධිය බවක් හෝ ඒ සිද්ධිය නැති බවක් හෝ කතාවක් තියෙනවද? නෑ නේද? දැන් අපි හිතන්න අතීතේ සිහිවීමක් මොනවා හරි දෙයක් අපි හිතමු දැකපු දෙයක්. එහෙම යන්නේ නැත්නම්, එහෙම බවක් හරි ඒක නැති වුණා හරි ඒ කතා දෙකම නෑ නේද? ‘න

අන‍්වාගමෙති’. කොහොමද ඒක වෙන්නෙ? මෙසේ ඇස උනා අතීතයෙදි, මෙසේ රූපය චන්දරාග පටිබද්ධයෙන් දැනහැනීමක් නෑ. දැන් මොකද්ද කතාව එතකොට? ඒ කතාවක් යෙදෙන්නේ නෑ. ඡන්දරාගය පටිබද්ධයෙන් දැනගැනීම තදබිනන්දති යක් නෑ. දැන් එතකොට අතීතය පිළිබඳව, මම අර ඔබට මුලින්ම පැහැදිලි කලේ සංයුක්ත නිකායේ එකේ දේවතා සංයුත්තයේ තියෙන ගාථාව ‘අතීතං නානුසොචන‍්ති නප‍්පජප‍්පන‍්ති’නාගතං

පච‍්චුප‍්පන‍්නෙන යාපෙන‍්ති තෙන වණ‍්ණො පසීදති’ කියල. දැන් ”අතීතං නානුසොචන‍්ති’ අපිට තියෙනවා අතීතය වමාර වමාර කන එකක්. නැද්ද? අතීතය පුදුම විදිහට තියනවා වමාර වමාර කන එක. හැබැයි ‘අතීතං න අන‍්වාගමෙති’ වෙන්නේ නිකං එහෙම නෙවෙයි. ‘අතීතං න අන‍්වාගමෙති’ වෙන්නෙ ‘පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති’, කියනකොට භද්දේකරත්ත බවත් එක්ක. ඔබ හොඳට හිතලා බලන්න ඔබේ ජීවිතය තුළ ඇස, කන, නාසය, දිව, කය, මන කියන මෙන්න මේ යෙදීම් එක්ක, අතීත බවක්, ඒ කියන්නේ සිදුවෙලා ඉවර ඉවර වෙච්ච බවක්, පිළිබඳව යෙදීමක ජීවත් වෙනවාද නැද්ද කියන එක. යෙදීමක ජීවත් වෙනවා නං ‘අතීතං අන‍්වාගමෙති’. හොඳට හිතන්න. ‘අතීතං අන‍්වාගමෙති’. එතකොට ‘අතීතං අන‍්වාගමෙති’ කියන එක සිදු නොවීම, ඡන්දරාග පටිබද්ධව, දැන් අපිට හිතෙනවා ඡන්දරාග පටිබද්ධ නැතුව රූප තියෙනවා ඇති කියලා එහෙනම්. ඡන්දරාග පටිබද්ධව නැතුව මොනවද  තියෙන්නේ? ඡන්දරාග පටිබද්ධ නැතුව කතාවක් යෙදෙන්නෙ නෑ. කතාවම ඉවරයි. ඒ දැන ගැනීමක් නෑ කියනව. එය සතුටින් පිළිගැනීමක් නෑ. දැන් එහෙනම් අතීත කියන කතාව ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි නේද? ඒ ධර්මය තුළ දී කාලික බවක් ඉස්මතු වෙන්නේ නෑ. දැන් අපිට පැවැත්ම කියන කාරණාව මොකද්ද තියෙන්නෙ? කාලික බවක් නේද? කාලික බව කියන එකක් ඉස්මතු වෙන්නේ නෑ. අන්න මැනීම කොච්චර ඉක්ම වෙනවද? සුන්දර හුදකලාව. දැන් බලන්න දැන් එහෙනම් අපට අපේ කෝණයට අදාලවෙන විදිහෙ විග්‍රහයක සක්කායක් යෙදෙනවා අතීතය එක්ක. අපිට අපේ කෝණය ඉක්ම වෙනවා නම්, දැං මම උදාහරණයක් කියන්නම්. මගේ අම්මා තාත්තා මටනේ. වෙන කාටවත් ද? මට. එතකොට මගේ අම්මා තාත්තා නැත්නම් මගේ අතීතයේ සිද්ධි, සියල්ලම මගේ නේ. මමත් එක්කනෙ. මගෙ අතීතයෙ හිතපු දේවල්, වැඩපිළිවෙලවල්, ඒ ඔක්කොම මමත් එක්ක. දැන් එහෙනම් අතීතයේ යෙදිලා තියෙන්නේ සක්කාය එක්ක නෙමෙයිද? සක්කාය එක්කනෙ. සක්කාය කියන කාරණාව ඉක්ම වුනානම්, අතීතය කියන කාරණාවක් යෙදීමක් එනවද? යෙදීමක් එන්නෙ නෑ. සක්කාය ඉක්ම වෙන්නේ, මොකක් එක්ක ද? සද්ධාව,  අනුගතවීම, යොමු වීම ඒ කියන්නේ දැන් කොහොමද ඉක්ම වෙන්නේ? ඉක්ම වෙන්න බෑනේ අපට අපි වැදගත්කමක් එනවනම්. කිසිම විදිහකින් නික්ම වෙන්නේ නෑ. ඉක්ම වෙන්නේ සම්පූර්ණයෙන්ම අනුගත වීමත් එක්ක. 

අන්න පැහැදිලි කරනවා,

ඉති මෙ චක‍්ඛුං අහොසි අතීතමද‍්ධානං, ඉති රූපාති න තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං.

අන්න ඒ විදිහට දැනගැනීමක් යෙදෙන්නේ නෑ. මෙන්න මේකට කියනවා මොකක්ද? ‘අතීතං නාන්වාගමේති’. දැන් කතාව නෑනේ? කතාව නෑ. හැබැයි නිකන් කතාව නැති වෙන්නේ නෑ. කතාව නැති වෙන්නේ ප්‍රත්‍යයෙන් ඉපදීම කියන දැක්ම. ප්‍රත්‍යයෙන් ඉපදීම කියන දැක්මේදී, හොඳට තේරුම් ගන්න, මට ප්‍රත්‍යයෙන් ඉපදීම බවක් හම්බවෙනවා නෙමෙයි. මට ප්‍රත්‍යයෙන් ඉපදීම බවක් හම්බවුණා නම්, එතනදි පින්වතුනි ප්‍රත්‍යයෙන් ඉපදීම නෙවෙයි. එතන තියෙන්නේ තනිකරම අපි මැනීමක් නේද? මැන්නෙ මොකක් එක්ක ද? ප්‍රත්‍යයෙන් ඉපදෙනවා කියන කාරණාවක් ධම්මාරම්මණයක් එක්ක ‘අහෝසිං අතීතමද්ධානං’ වෙලා නේද? නැද්ද? ප්‍රත්‍යයෙන් ඉපදීම බවක් කියන කාරණාව මනින්නෙ මොකක් එක්කද? අපි අහල නැත්නම්, ඔන්න මේ කාරණාව තියෙනවා ලස්සනට මාලුන්ක්‍යපුත්ත සූත්‍රයේ, සංයුක්ත නිකාය 4. අපි අහල නැත්නම් ඒ පිළිබඳව දන්නේ නැත්නම්, දැන් අපි මනින්නෙ කොහොමද? බෑ නේද? ප්‍රත්‍යුප්පන්න බවක් දැන් මේ තියෙන කාරණාව, දකිනවා කියන කාරණාව, දැං හේතුපල දකිනව කියන කාරණාව මනිනවා නේද අපි? ඒක මැනීමක් එක්ක විග්‍රහයක් වෙනවා නේ. මැනීමක් විග්‍රහයක් වෙන්නේ නිමිත්තක් එක්ක නේද? ඒක අතීතය එක්ක නෙමෙයිද? දැන් අතීතයේ නිමිත්තක් නේද? අතීතය ධම්මාරම්මණයක් නෙමෙයිද? දැන් අපි රූප ශබ්ද ගන්ධ රස පහස විතරයිනේ හිතන්නේ. ධම්මාරම්මණනයක අපි යෙදිලා නැද්ද? මනයි ධම්මයි එක්ක දැගැනීමක් යෙදිලා නැද්ද? ප්‍රත්‍යුප්පන්න බවක දැක්ම තමයි යථාර්ථය කියලා. ඇයි දැන් කලින් නිමිත්තක් නෙමෙයි ද ඒක? කලින් නිමිත්තක්. දැන් එකනේ දැන් මැන්නේ. දැන් මනිනවා වර්තමානයේ ඉන්නවා කියලා. දැන් වර්තමානේ ඉන්නවා කියලා මනින්නෙම, ඒක මනින්නම ඕනෙ විදිහෙ මිම්මක් යෙදුනා. ඒක ‘ඉති මනො ඉති ධම්මා’ අන්න ‘ඡන්දරාගපටිපද්ධස්ස විඤ්ඤානං’ වෙලා. එතකොට අඩුම තරමේ වැරදි විදිහකට යොමු වෙනවා කියලවත් දන්නේ නෑනේ. ඇයි ඒ? සක්කායකටමනෙ කොටු වෙන්න හදන්නෙ. 

එතකොට දැන් ඔන්න එහෙනම් අතීතය අනුව යන්නෙ නෑ කියල කියන්නෙ ‘න තදභිනන්‍දති’ බව නෑ. එතකොට ඔය විදිහටම, සෝත, ඝාන, ජිව්හා, කාය, මන. දැන් ‘මන’ත් එක්ක යන්නේ නැත්නම් අපට දැන් පිළිබඳව මොනවහරි කාරණාවක විග්‍රහයක එන්න ඉඩක් තියෙනවද? එන්න ඉඩක් නෑ. එන්නේ මැනීමක් එක්ක. මොකක්ද මනින්නෙ? කොහොමද? අපේ නිමිත්තක් එක්ක. නිමිත්ත මොකක් එක්ක ද? කලින් ගත්ත එකක් එක්ක. කලින් ගත්ත බව කියන්නේ? ධම්මාරම්මණයක් එක්ක. 

ඉති ධම‍්මාති න තත්‍ථ ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. 

දැං ‘අතීතං අන්වාගමේති’ අපි මනිනවා ‘අතීතං නාන්වාගමේති’ කියල. ඇයි ඒ? දැන් අපි මේ දැන්නෙ ඉන්නේ. කිසි දෙයක් මනින්නෙ නැහැලු. කිසි දෙයක් මනින්නෙ නෑ කියලා මනිනවා. කිසි දෙයක් මනින්නෙ නෑ කියලා මැන්නේ? ආයෙ ‘අතීතං අන්වාගමේති’. මෙන්න මේකට කියනවා ‘ අතීතං නාන්වාගමේති’ කියල. එහෙනම් ඔන්න ඒ කතාව ඒ දෙන්නේ නෑ එතකොට. 

න තදභිනන්‍දන‍්තො අතීතං නාන‍්වාගමෙති. 

ඔන්න ඔය විදිහට පැහැදිලි කරනවා. දැන් ඔන්න ‘අතීතං නාන්වාගමේති’ පැහැදිලි කලා. දැං ඊලඟට 

නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං,

ඒක පැහැදිලි කරන්න කලින්, ‘පාටිකඞඛ අනාගතං’

කථඤ‍්චාවුසො, අනාගතං පටිකඞ‍්ඛති: 

දැං ‘අනාගත පාටිකඞඛං’ කියද්දි විඤ්ඤානය සම්බන්ධ කරන්න බෑ. මොකද හේතුව? ඒක යෙදීමක දැනගැනීමක් නෙවෙයි, ඒක තනිකරම ප්‍රකල්පන නේද? අනාගතය පිළිබඳව තියෙන්නෙ ඔක්කොම ප්‍රකල්පනයන්. අතීතය දැනගත්ත බවක් එක්ක තියෙනවා. අනාගතයේ ප්‍රකල්පනයක් තියෙන්නෙ. 

ඉති මෙ චක‍්ඛුං සියා අනාගතමද‍්ධානං, ඉති රූපාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං පණිදහති. 

අන්න එතන පැහැදිලි කරන්නෙ ඒක. දැනගැනීම කියන කාරණාව කතාව නෙවෙයි. දැනගැනීමේ කාරණාව නෙවෙයි. සිතක් පිහිටනව, මොකටද? නොලබපු කාරණාව ලබන්න. දැන් අපේ එක එක මනෝ ලෝක තියෙන්නෙ. දැන් ඔන්න අපි ගත්තොත් එහෙම මෙතන තියෙනවා ‘මෙසේ ඇස අතීතයේ’ කියන්නෙ දකින්න ඕනෙ දේවල් ගැන හිතනවා. මේ විදිහට නොලබපු රූප ලබන්න අන්න හිතේ පිහිටීමක් ඇතිවෙනවා. ඒක දැනගැනීම කියන වචනයෙන් එන්නෙ නෑ. මොකද දැනගැනීම කියන වචනයෙන් එනවනම්, ඒ ඒම කියන කාරණාව ආපහු අතීතයක් එක්ක ගිහිල්ල. ඇයි ඒ? දැනගැනීම කියන එක සිදුවීමක් වෙන්නට ඕනෙනෙ. අරක තනිකරම මනෝ ප්‍රකල්පනයක්. අනාගතය කියන්නෙ මනෝ ප්‍රකල්පනයක්. නොලබපු දෙයක්නෙ. එතකොට මේ මනෝ ප්‍රකල්පනයක්. දැං බලන්න අපි ජීවත්වෙන්නෙ මොකක්හරි ආ මෙහෙම මෙහෙම මෙහෙම කියල අර මනසින් දාගන්න ප්‍රකල්පනයක් එක්කමයි. 

චෙතසො පණිධානපච‍්චයා තදභිනන්‍දති. තදභිනන්‍දන‍්තො අනාගතං පටිකඞ‍්ඛති.

අන්න ඒ හිතේ පිහිටීම මුල්කරගෙන මොකද වෙන්නෙ ඒ කරුණු සතුටින් පිළිගැනීම තියෙනව. ඒ සතුටින් පිළිගැනීම අන්න අනාගතේ පාටිකඞඛ. ඔය විදිහට කණ, සද්ද, නාසය  ගන්ධ, දිව, රසය, කය, පහස, මන, ධම්ම එතකොට මේ සියලුම දේවල් මොකද වෙන්නෙ? අන්න ‘අප්පටිලද්දං’ නොලබපු දේ පටිලද්ද කරගන්න ‘චිත්තං පණිදහති’. මෙසේ මනසයි. දැං එතකොට ‘ මෙසේ මනසයි’ කියල මේ ‘ඕං මම මනෙන් ‘ඕං මම අරමුණු හිතනව’ නෑ නෑ නෑ. සිදුවීම ගැන මේ කියන්නෙ. අනාගත පාටිකඞඛය. අපට නැද්ද? හොඳට හිතල බලන්න. අතීතය අනුව යාම, අනාගතයේ පාටිකඞඛය.

ඊලඟට මහාකච්ඡායනයන් වහන්සේ පැහැදිලි කරනවා 

කථඤ‍්චාවුසො අනාගතං න පටිකඞ‍්ඛති: 

මොකද්ද අනාගතේ ‘න පාටිකඞඛ’ කියන්නෙ? පාටිකඞඛ නෑ. 

ඉති මෙ චක‍්ඛුං සියා අනාගතමද‍්ධානං, ඉති රූපාති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං න පණිදහති. 

අරෙහෙම එකක් නෑ. මෙසේ ඇසයි මෙසේ රූප නොලබපු දේ ලබාගන්න හිත පිහිටීම කියනඑක නෑ. ඒක නෑ. නෑ කියල කියන්නෙ? එහෙම එකක් යෙදෙන්නෙ නෑ. දැං බලන්න මේ සක්කාය කියන කාරණාවකට ඉඩක් නොවෙන ස්වභාවය. සක්කාය කියන කාරණාවකට කිසිසේත්ම ඉඩක් එන්නෙ නෑ. ඒක නෑ කියනවා. මෙන්න මේ විදිහට, 

චෙතසො අප‍්පණිධානපච‍්චයා න තදභිනන්‍දති.

‘චේතසා’ හිතේ පිහිටීමක් නැතිකම හේතුවෙන් මොකද වෙනෙ? තදභිනන්දතියක් නෑ. දැන් අනාගත පාටික්ඞඛයක් නෑ. මෙන්න මේ විදිහට කණ, සද්ද, නාස, ගන්ධ, දිව, රස, කය,පහස, මන, ධම්ම ඒ කිසිදු කාරණාවක් එක්ක සිතෙහි පණිධයක් වෙන්නෙ නැත්නම් ඒකට කියනව නප්පටිකඞඛ. හැබැයි මේ කාරණාව එන්නෙ කොහොමද කියලා ඊළඟට පැහැදිලි කරනවා. ඔන්න දැන් මේකට කියනව නප්පටිකඞඛය කියල. 

කථඤ‍්චාවුසො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති: 

දැං ‘පච‍්චුප‍්පන‍්නඤ‍්ච යො ධම‍්මං තත්‍ථ තත්‍ථ විපස‍්සති’ කියලනෙ කිව්වෙ. එතනදි  විපස්සනය වෙන්නෙ නෑ කියන කාරණාව කතා කරන්න වෙන්නේ, එතනින් පස්සේ ගාථාවේ අර්ථ පේලියත් එක්ක. දැන් ඒ විදිහට විශේෂයෙන් හොඳින්ම දකිනකොට, තීව්‍රව දකිනකොට, ‘අසංහීරං අසඞ‍්කුප‍්පං.’ නෙ. අන්න එයානෙ ‘තං විද‍්වා මනුබ්‍රූහයෙ’, නුවණැති මනුශ්‍යයා කියන්නෙ. එතකොට එහෙනම්, නුවණැති මනුශ්‍යයෙක් නොවෙන්නෙ ‘පච්චුප්පන්න යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති’ නොවෙනකොට ‘සංහීර’ යි ‘කෝප්‍ය’ යි වන එක. එහෙනම් පච්චුප්පන්න යෝ ධම්ම විපස්සති බව විග්‍රහ කරන්න, ඒක විග්‍රහ නොවෙන බව පැහැදිලි කරන්න වෙන්නෙ සංහීර බවයි කෝප්‍ය බවයි විග්‍රහ කිරීමෙන්. ඊලඟට තමයි පච්චුප්පන්න විපස්සති කියනකොට අසංහීරයි අසංකුප්පයි කතාකරන්න වෙන්නෙ.  

කථඤ‍්චාවුසො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති.

ඇදීල යනව කියන්නෙ මොකද්ද? ප්‍රත්‍යයෙන් උපදින ධර්මයන් කෙරෙහි ඇදීල යන්නෙ. දැං ප්‍රත්‍යයෙන් ඉපදෙන, බලන්න දැං මේ පෙන්නන පරියාය තුලදි කොයි වෙලාවෙවත් කච්චායන ස්වාමීන්වහන්සේ පහැදිලි කරල පෙන්නන්නෙ නැහැ සාසෘත භාවයක්. ධර්මයක් පෙන්වද්දි සාසෘත භාවයකින් පෙන්වන්නෙ නෑ. දැන් අතීතය පිළිබඳව දැන ගැනීමේ කෘත්‍යයක් එක්ක කතා කලේ. අනාගතය පිළිබඳ චිත්ත පණිධියක් එක්ක කතා කලේ. වර්තමානය පිළිබඳව ‘පච්චුප්පන්න ධම්මේසු’ කතාකලේ. ප්‍රත්‍යයෙන් ඉපදෙන ස්වභාවයේ ඇදිල යනව. දකින්නෙ නෑ. ප්‍රත්‍යයෙන් ඉපදෙන ස්වභාවයේ ඇදිල යනවා. මේ තියන දෙයක් ගැන කථා කලාද? නෑ. දැං අපටනම් මේ අඥාන ලෝකයේ ඉන්නකොට අඥාන ලෝකයාට කියල දෙන්න වෙන්නෙ හරි දැන් තියන මේ ඇහැට පේන රූපය ගැන බලන්නකෝ. අපට අපේ ඇතුලෙන්ම මේ සාසෘත පැත්ත දාල තමයි මේ කියන්න වෙන්නෙ. කනට ඇහෙන ශබ්ද ගැන බලන්නකෝ. ඇයි ඒ? එච්චරට හිතන්නේ නැති අඥාන ලෝකයක් තියෙන්නේ. හිතන ඥානාන්විත ලෝකයක් තියෙද්දි, අර වැරදි වැඩපිළිවෙළක් එක්ක කතා කරන්න දෙයක් නෑ. දැන් මේ කතා කරන්නේ සාමාන්‍ය අයට නෙමේනේ. විමුක්තියක් හොයන්න යොමු වෙච්ච, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහණ වෙච්ච, ඒ ධර්මය අහල මහණ වෙච්ච භික්ෂුවකටනෙ. එතකොට ඒ භික්ෂුවට කතා කරනකොට ආයෙ අර ලෝකෙ තියෙන විදිහක් එකක කතා කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඔන්න සංහීරති, ඇදිල යන හැටි.

යඤ‍්චාවුසො චක‍්ඛුං යෙ ච රූපා, 

දැන් මේ මෙතන පෙන්වනකොට මොකක්ද පෙන්වන්නෙ? ප්‍රත්‍යයෙන් ඉපදීම කියන කාරණාව, දැක්ම කියද්දී එතර වෙනවා. ඒකනෙ විශේෂයෙන් දකිනවා කියන්නෙ. දකිනකොට එතෙර වෙනවා ‘සංහීරති’ වෙන්නේ නෑ. එතකොට ප්‍රත්‍යයෙන් ඉපදීම විග්‍රහ කරන්නේ. ප්‍රත්‍යයෙන් ඉපදීම විග්‍රහ කරන කොට ප්‍රත්‍යයෙන් ඉපදීම දකිනවා. ප්‍රත්‍යයෙන් ඉපදීම දකිනකොට, ප්‍රත්‍යයෙන් ඉපදීම යෙදෙන්නෙ නෑ. අන්න භද්දේකරත්ත වෙනවා. ප්‍රත්‍යයෙන් ඉපදීම නෙ විග්‍රහ කරන්න ඕනේ ඇත්තේ. ප්‍රත්‍යයෙන් ඉපදීමේදී ඇදිලා යන එක විග්‍රහ කරන්නේ. එතකොට එතන පෙන්නන්නෙ මේ සිදුවෙන සිදුවීම. පටිච්ච සමුප්පාදය කියලා අපි මේ කතා කරන පැවැත්ම. දැන් ‘විපස්සති’ කියනකොට, ‘න’ වෙන්නෙ නේද? පැවැත්ම ‘න’ වෙන්නෙ. නිරෝධය පැත්ත. මෙතන පෙන්නන්නෙ, ඇදිලා යනවා කියන්නේ සමුදය පැත්ත. දැන් අපි හිතනවා වර්තමානයේ අහු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. ඊළඟට වෙනම සමුදය නිරෝධය දකින එක්කෙනෙක් ඉන්නවා. ඒ කියපු කතාව තුළම ධර්මය නෑ නේද? දෙකොට්ඨාසයක් ඉන්නවා අර කට්ටිය වැරදි ජාතියෙ අය. අපි හොඳ ජාතියේ අය. ඒ කියපු කියමන තුළ ම ධර්මයේ යථාර්ථය නෑ. එහෙනම් ධර්මයේ යථාර්ථය කතා කරන්න තියෙන්නේ, මේ ප්‍රත්‍යුප්පන්නයේ ඇදිලා යන හැටි මිසක් තියන දෙයක් එක්ක මුලාවෙන් ඉන්නවා කියන එක නෙවෙයි. ඒක කියන්න පුළුවන් වෙන්නේ ඉතාම මෝඩ කෙනකුට. ඒ කියන්නේ සත්‍යවාදීව හිතන්නේ නැති තැනදී. සත්‍යවාදීව හිතන කෙනකුට ප්‍රත්‍යුප්පන්නයේ ඇදිලා යනවා මේං. එතකොට ප්‍රත්‍යුප්පන්නයේ ඇදිලා යනවා නම්, අසංහීරති නෙමේ සංහීරති. සංහීරති කියලා කියන්නේ, තත්ථ තත්ථ විපස්සති වෙන්නෙ නෑ. දිවා රාත්‍රී දෙකේ අර විදිහට වාසය කිරිල්ලක් නෑ. හැබැයි වාසය කිරිල්ලක් නෑ කියලා විග්‍රහ කරන්න වෙන්නේ, යථාර්ථය එක්කමයි. එහෙම නැතුව පින්වතුනි, අර අන්‍යආගම් කෙනා, අර විමුක්තියක් හොයන්නේ නැති කෙනා, අරයා ඔන්න වර්තමානයේ නෑ ඈ, ඒ කියන්නේ වර්තමානයේ ඉන්න ජාතියක් වෙනම ඉන්නවා නැති ජාතියක් වෙනම ඉන්නවා. එහෙම එකක් ධර්මයේ දී නෑ. ඒ මැන්නෙත් කවුද? මමමයි. සක්කායමයි. මේ මනින මිම්ම, මම අර කිව්වෙ වමාර වමාර කනව කියලා. මෙන්න මේ විදිහට මේ සක්කාය කියන කාරණාව එක්ක මේ මනින මිම්ම පුදුම එකක් තියෙන්නේ. මේකෙ අහු වෙලා තියෙනවා හරියට අර පැටලිච්ච නූල් බෝලෙ වගේ, කොහෙන් ඇද්දත් මොකද වෙන්නේ? පැටලෙනවා. ලෙහෙන්නෙ නෑ. පැටලිච්ච නූල් බෝලේ කොහෙන් ඇත්දත් පැටලෙනවා. දැන් අපි කතා කරන්න යනවා ‘මේං වැරදි විදිහට ඇදිලා යන හැටි, ප්‍රත්‍යුත්පන්නයේ යථාර්ථය නොදකින කොට ඇදිලයන හැටි’. ඒ කියන්නේ වෙනම කට්ටියක් එහෙම ඉන්නවා, විපස්සනා කරන කට්ටියක් වෙනම ඉන්නවා. එහෙම එකක් නෑ. ඇදිලා යෑම විග්‍රහ කරන්නෙ යථාර්ථයමයි. 

ඇවැත්නි, ඇස ‘චක‍්ඛුං යෙ ච රූපා,’ ඇසද රූපද 

උභයමෙතං පච‍්චුප‍්පන‍්නං,

මේ දෙකම ප්‍රත්‍යුප්පන්නයි. දැන් මේ කියන්නේ දෙකම ප්‍රත්‍යුප්පන්නයි. ඒකට මේ කියන්නේ. එකරුණට. ‘උභයමෙතං පච‍්චුප‍්පන‍්නං’

තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ 

මෙන්න මේ ප්‍රත්‍යුප්පන්නය කාරනාවන් කෙරෙහි

ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. 

චන්දරාගයෙන් බැඳිලා දැනගන්නවා. දැන් ප්‍රත්‍යුප්පන්නය වුනානම්, ඒක වෙන්න ඉඩක් නෑ නේද? හැබැයි ප්‍රත්‍යුප්පන්නය කියන කාරණාවක් තමයි ඇත්ත. මෙන්න මේක මොකද වෙන්නේ? මෙකරුණු, අන්න දැන ගැනීමක් වෙනවා චන්දරාගයෙන්. දැන් මොකද වෙලා තියෙන්නේ? 

ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස තදභිනන්‍දති. 

දැන් අර ඡන්දරාග පටිබද්ධයෙන් දැනගැනීමෙන් මොකද වෙන්නෙ? සතුටින් පිළිගැනීමක් වෙනවා. 

තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු සංහීරති. 

අන්න, මේ සතුටින් පිළිගැනීමත් එක්ක ඒ කෙරෙහි ඇදීල යනවා. දැන් බලන්න අපට, යෙදෙන කාරණාවත් එක්ක බලනකොට, ඇහැට පෙනෙන කරුණක් එක්ක ඇදිලා ගිහින් නේද? කනට ඇහෙන ශබ්ද එක්ක ඇදිලා ගිහින්. දැන් ඔහොම නේද? මනට ආව ධම්ම එක්ක ඇදීල යනව නේද? දැන් අපිට ආවේණික ස්වකීයත්වයක් තියෙනවනේ. ඇදීල ගිහිල්ලනේ. “වර්තමානයේ අපි යථාර්ථය දකිමින් ඉන්න ඕනේ”. මොකද වෙලා තියෙන්නෙ ආයෙත් හැදිලා ගිහින් නේද? අඩුම අපි දැක්කද ‘මනංයෙ ච ධම‍්මං උභයමෙතං පච‍්චුප‍්පන‍්නං’ කියල? නෑ. එහෙම දකින්නෙ නැතුව අපිට මොකද වෙලා තියෙන්නේ? අර ඇදිලා යනවා ‘සංහීරති’. අන්න ඇදීලා යනවා. මෙන්න මේ විදියට ඇස, කන, නාසය, දිව, කය, මන ඔස්සේ ඇදීලා යාම පැහැදිලි කරනවා. බලන්ඩ දැනගැනීම් ලෝකයේ ඉන්න කරුණත් එක්ක තියෙන අර්බුදය. දැන් අර හිතන ගතිය, විචක්ෂණශීලී ගතිය දිගටම තියෙනවා නම්, ඒකට අදාල විදියට කල්‍යාණ මිත්‍රයෙකුත් ඉන්නවනම්, යොමුවීමකුත් තියෙනවනම්, දැන් දැනගැනීමක් කියන කාරණාවක් එක්ක ඉන්න ඉඩක් තියේවිද? නෑ නේද? අන්න යොමුවීම. අන්න පැහැදිලි කරනවා,

කථඤ‍්චාවුසො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති. 

අන්න ‘සංහීරති’ නෑ කියන එක. ‘න සංහීරති’ කියන්නේ මොකක්ද එතකොට? ‘පච්චුප්පන්න ධම්මේසු තත්ථ තත්ථ විපස්සති’ කියන එක තමයි ‘න සංහීරති’ කියන්නෙ. 

චක‍්ඛුං, යෙ ච රූපා, උභයමෙතං පච‍්චුප‍්පන‍්නං, 

ඇසද රූපයද මේ දෙකම ප්‍රත්‍යුප්පන්නයි. 

තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ න ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. 

මෙන්න මේ ප්‍රත්‍යුප්පන්න කරුණු කෙරෙහි මොකද වෙන්නේ? චන්දරාගයෙන් බැඳිලා කියලා දැන ගැනීමක් යෙදෙන්නෙ නෑ. දැන් එතකොට ප්‍රත්‍යුප්පන්නය මොනවද? ඇහැ රූප කියලා කිව්වා නං ආයෙ දැනගෙන නේද? ප්‍රත්‍යුප්පන්නය කියන්නෙ ඔන්න චන්දරාගයෙන්, “ඇහැ පච්චුප්පන්නයි ඈ, රූපය පච්චුප්පන්නයි ඈ” දැනගෙන නැද්ද? දැන් දැනගෙන නේද? ඡන්දරාග පටිබද්ධයෙන් දැනගෙන. දැන් මොකද වෙන්නේ? 

‘තදභිනන්‍දන‍්තො’ අන්න එතකොට ඇදිලා ගිහින් රූප බවක් ඇහැ බවක් නේද? අන්න ඒ විදිහට වෙන්නේ නෑ කියලා 

තස‍්මිං චෙ පච‍්චුප‍්පන‍්නෙ න ඡන්‍දරාගපටිබද‍්ධං හොති විඤ‍්ඤාණං. න ඡන්‍දරාගපටිබද‍්ධත‍්තා විඤ‍්ඤාණස‍්ස න තදභිනන්‍දති. 

චන්දරාගයෙන් බැඳිල ගිහිල්ල දැන ගැනීමේ තදභිනන්‍දන‍්දති බවක් සතුටින් පිළිගැනීමේ බවක් නෑ. 

න තදභිනන්‍දන‍්තො පච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු න සංහීරති. 

අන්න ‘න සංහීරති’ ඇදිලා යන්නෙ නෑ. ‘න සංහීරති’ අසංහීරති කියන්නෙ ඒකයි. දැන් එතකොට කතාවක් ඉවරයි නේද? කතාවක් ඉවරයි. එතකොට ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ සියලු කරුණු එක්ක ඔන්න ඔය සිදුවීමට තමයි සොඳුරු හුදෙකලාවේ ඇලීම කියලා කියන්නෙ. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ ගාථාවෙදී ‘හෙට මැරෙයිද කවුද දන්නෙ’ හෙට මැරෙනවා නම්, මාරයා එක්ක ගිවිසුම් ගහලා නැත්නම්, අද, දැන් අතීත අන්වාගමේති වෙලා, ඒක දන්නෙත් නැතිව නේ අන්වාගමේති වෙලා තියෙන්නෙ. පාටිකඞඛ අනාගත වෙලා, පච්චුප්පන්න සංහීරති වෙලා ඉන්න එක කොච්චර මෝඩයිද? අන්න හුදකලාව නෑ. මේ හුදකලාත්වයට යොමුවෙන්න, තනිකරම සත්‍යවාදීව, විචක්ෂණශීලීව, ගුණවත්ව, කල්‍යාණ මිත්‍රයෙක් සහිතව වාසය කරද්දී ජීවිතයේ සම්පූර්ණයෙන්ම තමන්ගේ පැත්තට කිසිදු අයිතියක් එන්නෙ නෑ. ඔන්න ඕක තමයි සක්කාය නිරෝධය ප්‍රතිපදාව වෙන්නේ. අන්න ‘ප්‍රත්‍යුප්පන්නයේ න සංහීරති’ කියන්නෙ ඒක. එතකොට එහෙනම් දැන් අපට “ඔන්න අරමුණු තිබ්බත් ධර්ම තිබ්බා මේක අපි දැක්කා” එහෙම කියනකොට ‘චන්දරාග පටිබද්ධ විඤ්ඤානස්ස හෝති’ වෙලා නේද? එතකොට සංහීරතිනෙ. අසංහීරති නෙවෙයිනෙ. අපි කොහේ හරි ආයෙ ලැගගන්න යනවා නම්, අර පාරායන වග්ගයේ උපසීව සූත්‍රයේ දී උපසීව මානවකයා අහනව ආකිඤචඤ්ඤායතනයේ ලැගගන්නෙත් නැතිව එයින් ඉක්මුනාට පස්සෙ තවත් එකකට යන්නෙ නැතුව ඒ විමුක්තියක් පිළිබඳව.  දැන් අපට තියෙනව මොකද්ද? අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ වර්තමානයේ යථාර්ථය දකිමින් සිටින බවක් නේද? අන්න අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ වර්තමානයේ යථාර්ථය දකිමින් සිටින බවක් කියන කාරණාවත් එක්ක තව එකක ලැගගන. ඒ ලැගගන්නව කියන්නෙම කාලික බව. අතීත, අනාගත, වර්තමාන කියන මෙන්න මේ කාලික බවක් එක්ක තමයි ලෝකය තියෙන්නෙ. තථාගත ධර්මය කතාකරද්දි, කාලික බවක් නොයෙදීම සක්කාය නිරෝධ දහමේ අර්ථාන්විත භාවයයි. අපට අපේ වැදගත්කමක් එනවනම් අපට අනිවාර්‍යයෙන්ම කාලික බවක් යෙදිල. සක්කාය නිරෝධ ධර්මයේ අර්ථාන්විත බවක් යෙදිල නෑ. මම හිතන්නෙ අපි සක්කාය දිට්ඨි පොතේදි ලස්සනට මේ අකාලික භාවය පිළිබඳව අවසානයෙදි පැහැදිලි කරල දුන්න. සක්කාය නිරෝධ දහමත් එක්ක ඒ දහමේ සුන්දර ප්‍රතිපදාවෙදි මේ අකාලික භාවය මොකද්ද කියල. ඉතිං මෙන්න මේ විදිහට කච්චාන ස්වාමීන්වහන්සේ මේක පැහැදිලි කරනව. දැන් එහෙනම් දිවා රාත්‍රී දෙකෙහිම මේ විදිහට, දැන් බලන්න ගුණවත්, සත්පුරිෂ, යථාර්තවාදී කෙනෙක් සාසනයට ආවට පස්සෙ කල්‍යාණ මිත්‍රයන්ට යොමු උනාට පස්සෙ සමීප ඇසුරක්, එකම අදහසක් තුල ඉන්න තැනදි මේ විදිහෙ ජීවන පැවැත්මකට හුරු කරන තැනදි මොන ප්‍රශ්නද නේද? මොන අර්බුද ද? “අරෙහෙම කලා මෙහෙම කලා අරක වැරදියි මේක වැරදියි ඔය විදිහට හරි නෑ” මොකද්ද ඒ? සංහීරති, කුප්පති අන්වාගමේති පාටිකඞඛති. දැන් ඕවත් එක්ක නෙවෙයිද යන්නෙ? ඒවත් එක්කනෙ. කෝ සක්කාය නිරෝධ දහමක්? කෝ අර යථාර්තවාදී දහමක්? යෙදෙන්නෙ නෑනෙ. එතකොට යෙදෙන්නෙ නෑ. ඉතිං මේටික පැහැදිලි කරල කච්චායන ස්වාමීන්වහන්සේ පැහැදිළි කරනව, 

යං ඛො නො ආවුසො, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

මෙන්න මේක තමයි ඒ ගාථාවෙන් භාග්‍යවතුන්වහන්සේ පැහැදිලි කරපු කාරණාව මම තේරුම් ගත්තෙ මෙන්න මේ විදිහට. 

ඉමස‍්ස ඛො අහං ආවුසො, භගවතා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසස‍්ස උද‍්දිට‍්ඨස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. 

මම මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන්වහන්සේ පෙන්නපු ඒ ගාථාටිකේ අර්ථ දැනගත්තෙ. 

ආකඞ‍්ඛමානා ච පන තුම‍්හෙ, ආයස‍්මන‍්තො, භගවන‍්තං යෙව උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ. 

භාග්‍යවතුන්වහන්සේ ලඟට ගිහිල්ල මේ ප්‍රශ්න ඒ විදිහටම අහන්න. 

යථා වො භගවා ව්‍යාකරොති. තථා නං ධාරෙය්‍යාථාති.

භාග්‍යවතුන්වහන්සේ යමක් කියනවද ඒක දරාගන්න. ” මම කියපු ටික පැහැදිලි කරල දෙයි ඈ, ආයෙ වෙන එකක් එහෙම නෙවෙයි” ඔහොම කියනවද? නෑ නෑ. මමත්වය කතාව නෑනේ.බුදුරජාණන්වහන්සගෙන් ඔය ප්‍රශ්නටිකම අහන්න. බුදුරජාණන්වහන්සේ කියන දේ දරාගන්න. එච්චරයි. 

අථ ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො මහාකච‍්චානස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. 

කච්චායන ස්වාමීන්වහන්සගේ භාෂිතය සතුටින් අනුමෝදන්වෙලා භාග්‍යවතුන්වහන්සේ ලඟට ගිහිල්ල භාග්‍යවතුන්වහන්සේ වන්දනා කරල, භාග්‍යවතුන්වහන්සේගෙන් මෙහෙම අහනවා. 

යං ඛො නො භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වා විත්‍ථාරෙන අත්‍ථං අවිභජිත්‍වා උට‍්ඨායාසනා විහාරං පවිට‍්ඨො:

භාග්‍යවතුන්වහන්සේ මෙන්න මෙහෙම මේ ගාථා පැහැදිලි කරල වැඩම කලා. වැඩමකලාට පස්සෙ මට මේක කාගෙන්ද අහන්නෙ කියල හිතුන. මම ඊලඟට මහාකච්චාන ස්වාමීන්වහන්සේ ලඟට ගිහිල්ල මෙන්න මේ කරුණු ඇහුව. මෙන්න මේ විදිහට විග්‍රහ කලා. මහාකච්චානයන්වහන්සේ කිව්ව භාග්‍යවතුන්වහන්සේගෙන් මේව අහන්න ආපහු, ගිහිල්ල භාග්‍යවතුන්වහන්සේ කියන ආකාරයට දරාගන්න කියල පැහැදිලිකලා කියල 

තෙසං නො භන‍්තෙ, ආයස‍්මතා මහාකච‍්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්‍යඤ‍්ජනෙහි අත්‍ථො විභත‍්තොති.

කියල ඔන්න ඔහොම බුදුරජාණන්වහන්සේට පැහැදිලි කලා. බුදුරජාණන්වහන්සේ පැහැදිලිකරනවා මොකද්ද? 

පණ‍්ඩිතො භික‍්ඛවෙ මහාකච‍්චානො. 

මහණ මහාකච්චාන පණ්ඩිතයි. 

මහාපඤ‍්ඤො භික‍්ඛවෙ මහාකච‍්චානො. 

මහාකච්චාන මහා ප්‍රඥාවන්තයි.

මං චෙපි තුම‍්හෙ භික‍්ඛවෙ, එතමත්‍ථං පටිපුච‍්ඡෙය්‍යාථ, 

නුඹ මගෙනුත් ඔයප්‍රශ්නෙ ඇහුවනම්, 

අහම‍්පි තං එවමෙවං ව්‍යාකරෙය්‍යං, 

මමත් ඔය විදිහටමයි විග්‍රහ කරල දෙන්නෙ. 

යථා තං මහාකච‍්චානෙන ව්‍යාකතං. එසො චෙව තස‍්ස අත්‍ථො එවඤ‍්ච නං ධාරෙථාති.

ඔන්න ඔහොම මහාකච්චාන විග්‍රහ කරපු එක තමයි ඒකෙ අර්ථය. ඒක ඒ විදිහට දරාගන්න. ඉතින් මේ භික්ෂුව සතුටින් පිළිගත්තා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සත්‍යවාදී ගුණවත් කෙනෙක් යොමු වුණාම කොච්චර සුන්දරත්වයක් ජීවිතයෙ තියෙනවද? අසාමාන්‍ය සුන්දරත්වයක් තියෙනව. ඒ සුන්දරත්වය, ඒ සොඳුරු හුදකලාවේ ඇලීම, තමයි පින්වතුනි පැවිද්දේ රසය. සැබෑම භික්ෂුත්වයේ රසය. සැබෑම මුනි භාවය. ශාන්ත මුනි භාවය කියන්නෙ අන්න ඒකට. ඉතිං ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ, මෙන්න මේ ශාන්ත මුනිභාවයට මෙන්න මේ උතුම් හුදකලාවේ ඇලී වාසය කිරීම සඳහා අපේ ජීවිතය යොමු කර ගන්න. ඉතිං ඒ සඳහා ඔබ සියලු දෙනාටම මේ උතුම් දහම් පරියායත් උපකාරයක් කරගන්නවා කියලා අධිෂ්ඨානයක් ඇති කර ගන්න.